/ Jun 09, 2025

වැළලුනු අභිරහසක් සොයා සත්සරගේ දේහය යළි ගොඩගනී

මීගහකිවුලේ සුසාන භූමියේ මිහිදන් කළ තිබූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය අද (23) යළි ගොඩගනු ලැබීය.

යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා බදුල්ල මහේස්ත්‍රාත් නෙජිද්ධ සිල්වා මහතා ඉදිරියේ දී ඔහුගේ මෘත දේහය යළි ගොඩගෙන තිබුණි.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය මෙම මරණකරුගේ සිරුර යළි ගොඩගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අප්‍රේල් මස 17 වැනිදා නියෝග කෙරිණි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා එම දේහය ගොඩ ගැනීමට අවසර දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මෙම නියෝගය නිකුත් කළේය.

ශරීරය ගොඩ ගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබුණි.

ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය පී. ආර්. රුවන්පුර සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් පත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම තරුණයාගේ මෘත ශරීරය ගොඩ ගෙන සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබුණි.

අගතියට පත් පාර්ශ්වය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා එදින මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top