/ Jun 09, 2025

වසර 13කට පෙර තරුණයෙක් අමානුෂිකව ඝාතනය කළ 5කට එල්ලුම්ගස නියම වෙයි

2012 වසරේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසල දී තරුණයෙකුට පොලුවලින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

එමෙන්ම අදාළ චෝදනාවට වරදකරු කළ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ද නියම කර ඇත.

එම වරද සිදු කරන අවස්ථාවේ දී මෙම විත්තිකරුවන් දෙදෙනා වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ව සීටි බැවින් ඔවුන්ට එලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවයි විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල ඔප්පු කර ඇති බවය.

ඒ අනුව විත්තිකරුවන් චෝදනා තුනකට වරදකරුවන් කරන බවත් විනිසුරුවරයා සඳහන් කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වූ එක් විත්තිකරුවකු සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ විත්තිකරුවකු පිය පුතුන් බව ද සඳහන්ය.

එමෙන්ම මෙම නඩුවේ චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නඩු විභාගය අතරතුර දී මියගොස් තිබුණි.

2012 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා මට්ටක්කුලිය තොටුපොළ පාරේ කෝවිලක් අසල දෙපිරිසක් අතර වූ ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් 21ක් හැවිරිදි අවිවාහක තරුණයෙකුව විකට් පොලුවලින් සහ පොලුවලින් පහරදී මරා දැමීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනුකර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top