රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් පෙත්සමක් ගොනු කර තිබේ.
එම පෙත්සම ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (02) කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, මෙම පෙත්සම විභාගය සඳහා එළඹෙන 06 වැනිදා යළි කැඳවන ලෙසයි.
පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කර ඇති බවය.
තවද සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන්ද පැහැදිලි විධානයක් මෙම පනත් කෙටුම්පතේ සඳහන් වී නොමැති බවත් එහි චෝදනා කර තිබේ.
එමෙන්ම පෙත්සම්කරු එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත්තේ මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි.
අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.