තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි නියම කර තිබේ.
දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් සැකකරුව අද (02) අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාළ තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටි නමුත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළාය.
තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම නගර සභාවට අයත් අංක 12 දරණ මස්කඩ කාමරය බදු දීමේදී වැඩිම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාට එය ලබා නොදී අඩුම ලංසුව ඉදිරිපත් කළ අයට එය ලබාදීමෙන් රජයට රුපියල් 2380000/- ක් පාඩු සිදු කළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.