/ Jun 15, 2025

හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකුද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

වසර 40කට වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් අගනා සේවයක් කළ රණ විරුවෙකු වූ එතුමන් මියයන විට 91වන වියේ පසුවිය.

ගම්පහ, මල්වාන ප්‍රදේශයේ දී උපත ලැබූ හැමිල්ටන් වනසිංහ මහතා ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරීය.

දක්‍ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු පාසල් කාලයේ ශිෂ්‍යභට බලකායේ සැරයන් මේජර් තනතුර ද හොබවා ඇති බව සඳහන්.

විද්‍යාලයේ රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වනසිංහ මහතා පාසල් කාලය තුළදී මෙන්ම ඉන්පසුව හමුදාවේ දී බොහෝ කුසලාන දිනාගැනීමට වූවෙක්ය.

ඔහු සිලෝන් ඉන්ටර් ඩොමීනියන් කුඩා සිදුරු රයිෆල් වෙඩිතැබීමේ තරගාවලියද නියෝජනය කර ඇත.

1954 වසරේ දී කෙඩෙට් නිලධාරීයෙකු ලෙස එවක ලංකා හමුදාවට එක්වූ ඔහු, මූලික යුධ පුහුණුව හැදෑරීම සඳහා Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

ඉන් අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වූ ඔහු ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීයෙකු ලෙස පත් කරන ලදී.

යුද හමුදාධිපති ලෙස පත්වීමට පෙර ඔහු හමුදාවේ විවිධ තනතුරු රැසක් හොබවනු ලැබූ ඔහු, 1988 වසරේ දී මෙරට 11 වන යුද හමුදාධිපති ලෙස පත්විය.

වනසිංහ මහතා 1995 යුද හමුදාවෙන් විශ්‍රාම ගත් අතර, ඉන් අනතුරුව මෙරට ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්‍ෂක ලේකම් ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top