හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරියේ දී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරන බව එම කොමිසම නිවේදනය කර තිබේ.
ඒ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන හරහා ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීම යන චෝදනා යටතේ ය.
අද (24) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පැවසුවේ, එවකට කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මත පදනම්ව රුපියල් කෝටි 14.5 කට ආසන්න මුදලක් වැයකර ජනතාවට ඖෂධ වශයෙන් ලබා දී ඇත්තේ “මාරාන්තික බැක්ටීරියා සහිත වතුරත්, නිකං ම නිකං ලුණු වතුරත්” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉකුත් 19 වැනි දා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන් බවයි.
අල්ලස් දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා විසින් මේ පිළිබඳව එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බව සඳහන්.
ඔහු කළ පැමිණිල්ලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඒ සම්බන්ධයෙන් නඩු පවරනු ලැබීය.
ඒ අනුව, අවුරුද්දයි මාස 08ක් සහ දින 06ක් තුළ විමර්ශන අවසන් කර සිද්ධියට අදාළ විමර්ශන වල උද්ධෘත පසුගිය පෙබරවාරි 06 වන දා, නීතිපතිවරයාට යොමු කර තිබුණි.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව පැවරූ නඩුව ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ද විභාගයට ගැනීමට නියමිත අතර අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ද ඉදිරියේ දී නඩුව ගොනු කරනු ඇති.