ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ
දී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබේ.
එහි දී සාක්ෂිකරුවන් විසින් අදාළ සැකකරුවන් හඳුනාගත් බව සඳහන්.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නියෝගයකට අනුව මෙම පෙරෙට්ටුව අද පැවැත්වුණි.
එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බව අධිකරණයට දැනුම් දෙනු ලැබීය. ඉන් අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විමර්ශනය වැරදි පාරක යන බවයි.
අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසුවේය.
මෙම හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් පැවසුවේය.
එහෙත් විමර්ශන සිදුකරන බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කළේ, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ CCTV දර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බවත් එම නිලධාරියා අධිකරණය හමුවේ පෙන්වාදුන්නේ ය.
අනතුරුව අදාළ සැකකරුවන් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.