/ Jun 26, 2025

හැව්ලොක් නිවාස සංකීර්ණයෙන් හමු වූ රන් ආලේපිත T – 56 දුමින්දගේ?

වැල්ලවත්ත, හැව්ලොක් නිවාස සංකීරණයේ කාන්තාවකගේ ගමන් මල්ලක් තුළ තිබී සොයාගත් රන් ආලේපිත T – 56 ගිනි අවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වන දුමින්ද දිසානායකගේ බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති බව වාර්තා වේ.

දුමින්ද දිසානායක විසින් මීට මාස හයකට පමණ පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් එම ගිනි අවිය හැව්ලොක්සිටි සුපිරි නිවාස සංකීර්ණයේ පදිංචි අදාළ කාන්තාවගේ නිවසට යවා එය සඟවා තබන ලෙස උපදෙස් දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව එම අරක්කැමියා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (21) අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් ඇති බවත් වාර්තා වේ.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සිය සමීපතම මිතුරෙක් වන බවත් මෙම අවිය සහිත බෑගය භාරගෙන ඇත්තේ එහි T – 56 ගිනි අවියක් තිබෙන බව නොදැන බවත් සැකකාර කාන්තාව විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

බෑගය මාස හයක් තිස්සේ එම කාන්තාවගේ නිවසේ තිබී ඇති අතර පෙරේදා එම කාන්තාවගේ පුත්‍රයකු විනෝද චාරිකාවක් යෑම සඳහා මෙම බෑගය ගෙන ඇති බවත් ඒ අවස්ථාවේ බෑගය සමග ගිනි අවිය කාන්තාව විසින් සිය මෝටර් රථයේ ඩිකියේ දමාගෙන ගොස් ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇතැයි සඳහන්.

මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරීන් දැක ඇත්තේ ඒ අතරතුර දී වන අතර පසුව ඔහු ඒ බව වැල්ලවත්ත පොලිසිය වෙත දැනුම් දී ඇත.

අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ අවිය පරීක්ෂා කිරීමේ දී එය සෙල්ලම් අවියක් නොවන බවත් නවීන පන්නයේ T – 56 ගිනි අවියක් බවත් හෙළිවී තිබේ.

එම රන් ආලේපිත T – 56 ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ලබන 23 වනදා දක්වා වැල්ලවත්ත පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ (21) නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top