/ Jul 27, 2025

රටම කම්පා කළ ගැරඬිඇල්ල බස් අනතුරට හේතුව හෙළිවෙයි ; වගකිවයුත්තන් මෙන්න

පසුගිය දා කොත්මලේ, ගැරඬි ප්‍රදේශයේ සිදු වූ බිහිසුණු බස් රථ අනතුරට වගකිව යුත්තේ කතරගම ඩිපෝව සහ මාර්ග සංවර්ධන අධිකාරිය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ පරීක්ෂණ වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

බස් රථයේ රියැදුරුගේ අවිවේකී බව හේතුවෙන් නින්ද යාම මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බවයි එම පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම කතරගම ඩිපෝව විසින් අදාළ බස් රථයේ අලුත්වැඩියා කටයුතු නිසි පරිදි පළපුරුදු කාර්මිකයින් යොදවා සිදු කර නොමැති බව ද එමගින් පෙන්වා දී තිබේ.

අවසන් වරට බස්රථය 2023 වසරේ අලුත්වැඩියා කර ඇති නමුත් බසයේ සැකිල්ලේ කණු දිරාපත් වී තිබුණ ද ඒවා ඉවත් කර අලුත් තහඩු යොදා නැති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ. එබැවින් අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි සිදු වූ බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

ඊට අමතරව මාර්ග සංවර්ධන අධිකාරිය මගින් 2022 වසරේ දී අනතුර සිදු වූ ස්ථානය දෙපස ව්‍යාපාරිකයින්ට ලෑලි කඩ දෙකක් තැනීමට අවසර ලබාදීමෙන් පසු එම වෙළෙන්දන් පාරිභෝගිකයින්ගේ පහසුව පිණිස අනතුර සිදු වූ ස්ථානයේ තිබූ විශාල ගස් කපා, පස් සමතලා කර ඇති බවට අනාවරණය වූ බව පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

මැයි මස 11 වැනි දින මෙම අනතුරින් පුද්ගලයන් 23කට දිවි අහිමි වූ අතර 60කට ආසන්න පිරිසක් අනතුරින් තුවාල ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top