/ Jul 27, 2025

කහවත්තේ තරුණයාගේ ඝාතනයට සැක කොල්ලෝ හතරකට මාංචු

කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

තව ද බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරන්නේ ඝාතනයට ලක් වූ තරුණයා සහ තුවාල ලැබූ තරුණයා පැහැර ගැනීම සඳහා යොදා ගත් ජීප් රථය ද සොයාගත් බවයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින තනූජ සම්පත් නොහොත් ‘හෝමාගම හඳයා’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයින් බව පොලිසිය කියයි.

එකී අපරාධය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් බවට මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත.

ඉකුත් 30 වැනිදා රාත්‍රීයේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් කතාබහ කරමින් සිටිය දී පොලීසිය යැයි පවසා තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

එහිදී සහෝදරයන් දෙදෙනා අතරින් එක් අයෙක් එම ස්ථානයෙන් පලාගොස් තිබූ අතර අනෙක් දෙදෙනාගේ අත්වලට මාංචු දමා ජිප් රථයකට නංවාගෙන රැගෙන ගොස් තිබුණි.

පසුව පැහැරගත් තරුණයන් දෙදෙනා අතරින් එක් තරුණයෙකු දණගස්වා වෙඩිතබා ඝාතනය කර ඇති අතර අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් තුවාල ලබා රොහල්ගත කෙරුණි.

මෙලෙස ඝාතනය කර තිබුණේ කහවත්ත පලන්සූරියගම පදිංචිව සිටි දේශාන් ඉරන්ත නමැති 22 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ එදින එම තරුණයන් පැහැර ගැනීමට යොදාගත් ජීප් රථය, මෝටර් රථයක්, යතුරුපැදි 3ක්, ලියාපදිංචි අංක තහඩු 2ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 197ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

තරුණයන් පැහැර ගැනීමට යොදාගත් ජීප් රථය සොයාගෙන තිබුණේ මීගොඩ පොලිස් වසමේ සඟවා තිබියදී බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට හෝමාගම, හා පාදුක්ක ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27ත් 29ත් අතර වයස්වල පසුවන කිසිඳු රැකියාවක් නොකරන පුද්ගලයින් ය

ඝාතනයට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top