අද (22) පෙරවරුවේ කටුනායක ආඬිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට දැරූ උත්සාහය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
මෙලෙස එම සැකකරුවන් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ ගෙන තිබුණේ අංජන නැමති 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකුටයි.
දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචි ඔහු මුදල් පොලියට දීමේ කටයුතුවල නිරත පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා අද පෙරවරු 10:00 පමණ අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තිබුණේ පොලියට මුදල් ලබාගැනීමේ මුවාවෙනි.
වෙඩික්කරුවන් රතු පැහැති ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් මෙම ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණ මෝටර් රථයක ලිපි ලේඛන රැගෙනවිත් මුදල් ලබාගැනීමට අවශ්‍ය බව පවසා තිබේ.
එසේ පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ හැසිරීම් රටාව ගැන සැක සිතා ඇති මෙම ව්‍යාපාරිකයා මොවුන් නිවසට ඇතුළු වූ පසු වහාම ගේට්ටුව දුරස්ථ පාලකයක් මගින් වසා දැමීමට පියවර ගෙන තිබුණි.
ඒ සමගම නොසන්සුන් වී ඇති වෙඩික්කරුවන් දෙදෙනා ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට උත්හාසා කර තිබුණත් ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැත.
ඒත් සමගම ව්‍යාපාරිකයා වෙඩික්කරුවන් සමග පොරබැඳ තිබූ අතර එම අවස්ථාවේ දී වෙඩික්කරුවන් දෙදෙනා නිවසේ ගේට්ටුව වසා තැබීම නිසා පැමිණි යතුරුපැදිය ද අතහැර අඩි 9ක් පමණ උසැති තාප්පයෙන් පැන ගොස් තිබුණි.
එහිදී එක් වෙඩික්කරුවෙකුගේ පාදයේ අස්ථි බිඳීමකට ලක්වී ඇති අතර ඔහු තාප්පයෙන් පිටත ප්‍රදේශයේ වැටී සිටිය දී සිය ගිනිඅවියෙන් හිසට වෙඩිතබා ගැනීමට ද උත්සාහ දරා තිබුණත් එහිදී ද ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බවයි වාර්තා වන්නේ.
ඉන්පසු ව්‍යාපාරිකයාගේ නිවසේ තාප්පය අසල වැටී සිටි වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
එම සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.
ඔහු සන්තකයේ තිබූ රිවෝල්වරයක්, ඒ සඳහා භාවිත කරන උණ්ඩ 05ක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල අවියක් සඳහා යොදන පතොරම් 09ක් සහිත පතොරම් ගැබක්, තවත් මිලිමීටර් 09 පිස්තෝලයක හිස් පතොරම් ගැබක් ද පොලිස් භාරයට ගෙන ඇත.
වෙඩිතැබීම සඳහා පැමිණ තිබූ අනෙක් වෙඩික්කරු මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් ද සමග නිවසේ තාප්පයෙන් පැන පලාගොස් ඇති අතර ඔහු මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.