ඔබ ලන්ඩනයට සංචාරය කළ විටක දී එහි පිහිටුවා ඇති කුඩාම ස්මාරකය ලෙස සැලකෙන, “The Two Mice Eating Cheese“ පිළිබඳ ව සොයා බලන්න, හැකි නම් එය නරඹන්න වේලාවක් යොදා ගන්න.
එය, වර්ෂ 1862 දී, අතුරුදන් වූ සැන්ඩ්විචයක් අරභයා වාදයක පැටලී සිටි ඉදිකිරීම් කම්කරුවන් දෙදෙනෙකු, ඒ අවස්ථාවේ දී තමන් පා තබා සිටි පලංචියෙන් බිමට ඇද වැටී ඛේදනීය ලෙස මිය යෑම සනිටුහන් කරනු වස් පිහිටුවන ලද්දක් ලෙස සැලකේ.
ඔවුන් දෙදෙනා නැති වූ චීස් සැන්ඩ්විචයක් සම්බන්ධයෙන් ආරවුලක පැටලී සිටිය දී සමබරතාව ගිලිහී ඇද වැටුණු අතර පසුව අනෙකුත් සේවකයින් සොයාගත්තේ එම සැන්ඩ්විචය මීයන් විසින් අනුභව කර ඇති බවයි.
චීස් කැබැල්ලක් දෙපසට අදිමින් සටනක පැටළී සිටින මීයන් දෙදෙනෙකු නිරූපණය වන මෙම කුඩා ස්මාරකය, ලන්ඩනයේ ‘මොනියුමන්ට්‘ උමං දුම්රිය අසල, ‘ෆිල්පොට්‘ පටුමගේ ගොඩනැගිල්ලක පිටත බිත්තියේ පිහිටුවා තිබේ. මෙම ගොඩනැගිල්ල 1861-1862 කාලයේ ඉදිකරන ලද්දක් වන අතර බොහෝ දෙනෙකු පවසන්නේ ඉහත කී අනුවේදනීය සිදුවීමට සම්බන්ධ ගොඩනැගිල්ල මෙය වන බවයි.

මෙම කුඩා ප්‍රතිමාව, කුසගින්න මුල් කරගෙන නොගැලපෙන ආරවුලක පැටලී අකාලයේ මිය ගිය දුප්පත් ඉදිකිරීම් කම්කරුවන් දෙදෙනෙකු සිහි කරනු වස් සියවස් කිහිපයක සිට සිය අද්විතීය කාර්යය ඉටු කරමින් සිටියි. එය එංගලන්ත බැංකුව අසළ ‘ත්‍රෙඩ්නීඩ්ල්‘ වීදිය සහ ‘කෝන්හිල්‘ ආසන්නයේ පටු මංතීරුවක පිහිටුවා ඇති, ලන්ඩනයේ ඇති කුඩා ම සහ එතරම් ප්‍රසිද්ධියක් නැති පොදු ස්මාරකවලින් එකක් වන නමුදු එය නැරඹීමට ඔබගේ ලන්ඩන් සංචාරය අතරතුර සුලු වේලාවක් වෙන් කිරීම පිළිබඳ ව ඔබ කිසිදා පසු නොතැවෙනු ඇත.
රන්දිකා රණවීර ප්‍රනාන්දු
