/ Feb 26, 2026

ආබාධ සහිත පුද්ගලයින් හදුන්වා දීමට අලුත් යෙදුම් 11ක්!

ආබාධ සහිත පුරවැසියන් හැදින්වීමට යොදා ගන්නා ඇතැම් ව්‍යවහාරික වචන හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරීයේ අපහසුතාවයන්ට ලක්වන බව ආබාධ සහිත ප්‍රජාව දීර්ඝ කාලයක් පුරා පෙන්වාදෙන ගැටළුවකි. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.

ජාතික මහසභාව විසින් පත්කරණු ලැබූ අනු කමිටුවක් මගින් මේ පිළිබඳව අධ්‍යනයකර, පසුගිය 23 වනදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධාන්තවයෙන් රැස්වූ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේදී සුදුසු පාරිභාෂිත වචන 100ක පමණ ප්‍රමාණයක් යොජනා කර ඇත. මේ අතරින් ප්‍රධාන පාරිභාෂිත යෙදුම් 11 ක් හඳුනාගෙන ඇති අතර සෙසු යෙදුම් සඳහා මහජනතාවගේ අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලබාදී ඇත.

මින් ඉදිරියට ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව තොරතුරු සන්නිවේදනය කිරීමේදී මහ සභාව මගින් අනුමත යෙදුම් 11 යොදාගන්නා ලෙස සියළුම රාජ්‍ය ආයතන, මාධ්‍ය ආයතන හා සංවිධාන වෙත ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහසභාව ඉල්ලා සිටී.

මූලිකව හඳුනාගත් එම වචන සහ යෙදුම් වන්නේ,

  1. ආබාධ සහිත තැනැත්තා
  2. ශ්‍රවනාබාධ සහිත තැනැත්තා
  3. දෘශ්‍යාබාධ සහිත තැනැත්තා
  4. චලනාබාධ සහිත තැනැත්තා
  5. බුද්ධිමය වර්ධන ඌනතා සහිත තැනැත්තා
  6. මනෝ සමාජීය ආබාධ සහිත තැනැත්තා
  7. කථනාබාධ සහිත තැනැත්තා
  8. බහු ආබාධ සහිත තැනැත්තා
  9. ආබාධ සහිත කාන්තාවන්
  10. ආබාධ සහිත ළමුන්
  11. මිහිමිත් තැනැත්තා

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි නිර්බාධිත සමාජ ජීවිතයක්, යුක්ති සහගත සම ප්‍රවේශයක් ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් උරුමකරදීම උදෙසා සෑම අයුරකිම කටයුතු කරණ බව ජාතික සභාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්‍රකාශකර සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top