දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) නිකුත් කරන ටිකට් පත් වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවයි සඳහන් වන්නේ.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමග online මාර්ගයෙන් ටිකට් පත් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව ඔන්ලයින් මාර්ගයෙන් කෙටි වේලාවක් තුළ ටිකට් පත් ලබාගෙන ඒවා වැඩි මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්.