පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ සැකකරුවන් පස් දෙනාට අයත් මෙරට ඇති රුපියල් කෝටි ගණනක චංචල සහ නිශ්චල දේපළ තහනම් කර සියල්ල රජයට පවරා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පද්මේ නමැත්තාට අයත් ගම්පහ, මිනුවන්ගොඩ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක තිබෙන රුපියල් කෝටි 75කට අධික වටිනාකමකින් යුත් දේපොළ මේ වන විට හඳුනාගෙන ඇති බව සඳහන්. ඔහු මේවා සිය පවුලේ අයගේ නමින් මිලට ගෙන තිබේ.
මේ දේපොළ අතර හෝටල්, නිවාස, ඉඩම්, ගොඩනැගිලි සහ වාහන ඇති බව පැවසේ.
එසේම අත්අඩංගුවේ සිටින කොමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පාතාල අපරාධකාරයන්ට අයත් සියලුම දේපොළද සොයා නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.