මෑත කාලයේ සිදුවූ අපරාධ සහ වෙඩිතැබීම්වලට සම්බන්ධව සැකපිට ආරක්ෂක අංශයේ නිලධාරීන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් කියා සිටියේ සංවිධානාත්මක අපරාධකරුවන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
“පසුගිය සැප්තැම්බර් 23 වනදා සිට මේ දක්වා සිදුවූ අපරාධ ගැන අවධානය යොමු කළාම සේවයේ සිටියදීම යුද හමුදාවේ එක්කෙනෙක් දෙන්නෙක් මේ කටයුතුවල නිරත වෙනවා.මේ දින කිහිපය තුළ යුද හමුදා මේජර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.යුද හමුදාවේ සෙසු නිලයන් 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.පොලිස් නිලධාරියෙක් අත්අඩංගුට අරගෙන තිබෙනවා.සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. සංවිධානාත්ම අපරාධකරුවන් 15ක් සහ අපරාධවලට අනුබලදීම සම්බන්ධයෙන් තවත් 15ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.ඒ විදියට තමයි මේ අපරාධ සඳහා සම්බන්ධවෙලා තියෙන්නේ.”
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු T56 ගිනිඅවි 7ක්, පිස්තෝල 10ක්, රිවෝල්වර් 14ක් , බෙහෙත් කොටන තුවක්කු 461ක්, බෝර 12 ගිනිඅවි 58ක්, ගල්කටස් 13ක්, රිපීටර් 2ක් සොයාගත් බවද ඔහු සඳහන් කළේය.
මේ මාස 2 ඇතුළත හෙරොයින් කිලෝග්‍රෑම් 354ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3847ක්, කොකේන් කිලෝග්‍රෑම් 3.8ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 181.9ක්, අයිස් කිලෝග්‍රෑම් 759ක් ද සොයාගෙන තිබෙන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසය නැවත ලබන සතියේ ස්ථාපිත කෙරෙන බවත් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති ලිපිගොනු 29,000 තුළින් මූල්‍ය අපරාධ ලිපිගොනු එම කොට්ඨාසයට භාරදීමට කටයුතු කරන බවත් මෙම පැහැදිලි කිරීමේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේය.