හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධිචෝදනා ගොනු කර තිබේ. ඒ උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වත්කම් සම්බන්ධයෙනි.
ඔහුගේ පියා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මාස 21ක කාලයක් තුළ රමිත් රඹුක්වැල්ල රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන ඇතත්, උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වී ඇත. වත්කම් අතර සුඛෝපභෝගි නිවාස, ජීප් රථ ඇතුළු වත්කම් රැසක් පවතින බව පැවසේ.
ඔහුගේ පියා වන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරය දරණ සමයේ ඔහු ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර තිබුණි. එම ධුරයේ කටයුතු කරන අතරතුර 2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා මාස 21ක කාලසීමාව තුළ ඔහු රුපියල් 296,566, 444.76 ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඇත.
එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වූ වත්කම් අතර, කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 8ක් සහ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක් වටිනා නිවාස දෙකක් ඇත.
එමෙන්ම රමිත්ගේ නමින් තිබෙන බැංකු ගිණුම් 4ක්, ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් 4ක්, එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් discovery jeep රථයක් ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වේ.