සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් වුු ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
අද (14) දහවල් කාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළ අතර ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වූ බවත් තවත් කාන්තාවක් හා කෙහෙල්බද්දර පද්මේගේ සමීපතයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එම පිරිස අතර ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් ද්‍රවිඩ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
බොහෝදුරට එම අපරාධකරුවන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට රැගෙන ඒමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඉකුත් පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර, කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය විසින් අදාළ ඝාතනය සිදුකර තිබුණි.
ඝාතනය සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව එදිනම පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගත් අතර, අනතුරුව විමර්ශන නිලධාරීන් අධිකරණ සංකීර්ණයේ පිහිටි CCTV කැමරා පරීක්ෂා කළ අතර එහිදී අනාවරණ වුණේ කාන්තාවක් ද වෙඩික්කරුගේ සහායට පැමිණ ඇති බවය.
එම අපරාධය සිදුකර ඉෂාරා සෙව්වන්දි මිද්දෙණිය ප්‍රදේශයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති අතර, එයට JK බායි නැමැත්තා උපකාර කර ඇතැයිද වාර්තා වේ.
ඇය රු ලක්ෂ 65ක් පමණ වියදම් කර ඉන්දියාවට පලාගොස් එහි සති තුනක පමණ කාලයක් රැඳී සිට ඇති අතර ඉන් අනතුරුව ඉෂාරා බස්වලින් සහ දුම්රියෙන් පලාගොස් ඇති අතර, දින 7කට පසුව ඇය නේපාලයට ළඟා වී ඇතැයි ද වාර්තාවේ.
පසුව නේපාලයේ කඳුකර ප්‍රදේශයක තට්ටු නිවසක ඉහළ මහලේ රැඳී සිටිය දී ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණි.
මේ අතර, ඉෂාරා සෙව්වන්දිට ආදේශකයක් ලෙස යොදා ගත් වෙනත් කාන්තාවක් සඳහා ද විවිධ රටවලට පලා යෑමට හැකි වන අයුරින් පාස්පෝට් සකස් කර ඇතැයි ද මෙහිදී අනාවරණය වී තිබේ.