/ Nov 13, 2025

ආසිරි රෝහල වැඩි මිලට බෙහෙත් විකිණීමේ නඩුව : උසාවි ලේඛන කුරුටු ගෑම ගැන නීතිඥයන්ගෙන් ප්‍රශ්න කරන්න යයි!

පසුගිය දිනවල නීති ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයට ලක් වූ ආසිරි රෝහල විසින් නියමිත මිලට වඩා වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වූ නඩුවේ වෙනත් මානයක් මේ වන විට දිගහැරෙමින් තිබේ. ඒ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛන කුරුටු ගෑමක් සම්බන්ධවයි. සිදුවීම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

ආසිරි පෞද්ගලික රෝහලට විරුද්ධව නියමිත මිලට වඩා ඉතා ඉහළ මුදලකට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් නුගේගොඩ පදිංචි සනත් අතුකෝරල විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණිල්ලක් අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 52624/23 දරණ නඩුව පවරා නඩු කටයුත්ත ඉදිරියට යමින් තිබිණ.

මෙම නඩුවේ දිගටම කටයුතු කළ මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නඩුව 2024 ජනවාරි 23 දාට කැඳවීමට නියම කර රාජකාරි නිවාඩු ගොස් තිබියදී ජනවාරි 17 වැනි දා පැමිණිලි පාර්ශ්වයට සහ අගතියට පත් අතුකෝරලට නොදන්වා වැඩබලන මහේස්ත්‍රාත්වරියක වන හිමාලි ඒකනායක හමුවේ නඩුව කැඳවාගෙන ආසිරි රෝහලේ බලයලත් නියෝජිතයෙකු විසින් අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන තිබුණි. එහිදී ඉතා විශාල දඩයක් නියම කළ යුතු වරද කිහිපයක් තිබියදී විස්මයජනක ලෙස අදාළ වැඩබලන මහේස්ත්‍රාත්වරිය දඩ නියම කර තිබුණේ රුපියල් 25000ක් සහ නොගවන්නේ නම් මාස 6ක සිරදඬුවමකි.

මෙහිදී පැමිණිලි පාර්ශවය සහ අගතියට පත් සනත් අතුකෝරල විසින් උක්ත තීන්දුව ගැන පැමිණිලි කිරීමෙන් පසුව වැඩබලන මහේස්ත්‍රාත්වරිය දුන් තීන්දුව දෝෂසහගත ද යන්න පිළිබඳ තීන්දුව සකස් කිරීමට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේදී අධිකරණයේ ඇති මෝෂන් පොතේ 2024 ජනවාරි 09 දින ප්‍රශ්නගත නඩුව කැඳවන්නැයි ඉල්ලා තිබු සටහනක් කිසිවෙකුට හඳුනාගත නොහැකි අන්දමට අබිරහස් ලෙස කුරුටු ගා ඇති අන්දම නිරීක්ෂණය වීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මේ ගැන විමර්ශනය පොලිස්පතිට නියම කළා ය.

මෙම විමර්ශනයට අදාළව මාළිගාකන්ද උසාවියේ සේවය කරන නීතිඥවරුන්ගෙන් සහ අධිකරණ සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය මාළිගාකන්ද අධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top