October 27, 2025
ඒකාබද්ධ විපක්ෂය ලෙස විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්ව එළඹෙන නොවැම්බර් 25 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළියට සමඟි ජන බලවේගය සහභාගී වීම සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වෙයි.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට වසරක් සැපිරෙන එළඹෙන නොවැම්බරයේ ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය ලෙස රැළිය පැවැත්වීමට තීරණය කර අතර ඊට සමඟි ජන බලවේගය පොදු විපක්ෂයේ වේදිකාව වෙනුවට සිය ප්‍රතිපත්ති මත පිහිටා ගමන් කළ යුතු බවටත් අත්‍යවශ්‍ය මොහොතකදී එකට එක්ව කටයුතු කළ යුතු බවටත් වන සාකච්ජාවක් ආරම්භ වී ඇති බව සඳහන්.
ඒ අනුව නොවැම්බරයේ පැවැත්වෙන විපක්ෂයේ රැළියට සහභාගී වීම සම්බන්ධයෙන් දැනටමත් මත ගැටුමක් නිර්මාණය වී ඇති බව කියවෙයි. සමඟි ජන බලවේගයේ දේශපාලන වේදිකාව තුළ ඒ පිළිබඳ යම්කිසි අයුරකින් දැනටමත් ඉඟි පළවෙමින් තිබේ.
මෙම විපක්ෂයේ විරෝධතා රැළියට සහභාගී වීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමින් සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක එස්.එම්. මරික්කාර් මහතාද පවසා තිබුණේ ”සමඟි ජන බලවේගය සහභාගී වෙන්නේ නෑ ඒකට. අපි අපේ දේශපාලනයක අපේ ප්‍රතිපත්තියකට අපි යන්නේ. ඔක්කොම මාධ්‍යට කිය කිය කරන්නේ නෑනේ. අපි ඒකට යන්නේ නෑ මම එතනින් එහාට ඒකට උත්තර දෙන්නත් කැමති නෑ.” යනුවෙනි.
එහෙත් මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ අනුව නුදුරේදීම මේ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට සමඟි ජන බලවේගයට සිදුවන අතර ප්‍රධාන විපක්ෂය ලෙස සමඟියේ තීන්දුව පොදු විපක්ෂයේ පැවැත්මටද බලපෑමක් එල්ල නොවනු ඇතැයි කිව නොහැක.
කෙසේවෙතත් සමඟි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම සඳහා කළමනාකරණ කමිටුවේ මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.




