/ Nov 13, 2025

ඉන්ධන මිල සංශෝධනය: මේක විහිළුවක්. අපේ ගාස්තුවේ වෙනසක් නෑ!

ඉන්ධන මිල සංශෝධනය වුවද ත්‍රීරෝද රථ සඳහා අය කරන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කරන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කළද, එහි වාසිය පාරිභෝගික ජනතාවට නොලැබෙන බවයි

මෙම ඉන්ධන මිල සංශෝධනය විහිළුවක් වී ඇති බව ඔහු පවසයි.

“අපි මේ විදියට අවුරුදු හතලිස් ගාණක් ආවා. බස්නාහිර පළාත් සභාවේ අවසාන වශයෙන් තීරණය කළේ මොකක්ද ?. උපරිමය රුපියල් 100යි. දෙවනි කිලෝමීටරයට රුපියල් 85යි. සාධාරණ මිනිස්සු කොටසක් ඉන්නවා. 100යි 85ට දුවන. ඇහුවාම සමහර අය අපි දුවන්නේ 100යි 100යි කියලත් කියනවා. ජනතාව මැසිවිලි නගනවා. ගසාකෑම් සිද්ධවෙනවා. අපි සූදානම් නැහැ තවදුරටත් විහිළුකාරයෝ වෙන්න. ඒත් ශක්තිමත් නියාමනයක් යටතේ මිල නියාමනය සිදු වුණොත් ඒක නීතියක් වෙනවා. අවට ගියාට නෙමෙයි නිෂ්චිත මිල සූත්‍රයටක අනුව හරියට ගාණක් කියලා ජනතාවට ඒක දැනුවත් කළාම අර තියෙන වංචා ඔක්කොම සමනය වෙලා මේක කරගෙන යන්න පුළුවන්. මේ පාරත් පැහැදිලිවම ගාස්තුවේ වෙනසක් නැහැ. ලබන පාරත් අඩු වුණත් වැඩි වුණත් කරන්නේ නැහැ.”

ධර්මසේකර මහතා පවසන්නේ ශක්තිමත් නියාමනයක් යටතේ මිල නියාමනය සිදුවිය යුතු බවයි.

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කර තිබේ.

ඒ අනුව, රුපියල් 299ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 294ක් ලෙස සංශෝධනය වී ඇත.

මේ අතර අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් කිසිදු වෙනසක් නොමැතිව එලෙසම පවතින බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top