- Mother Mary comes to me.
වරෙක Czeslow Milosz ප්‍රකාශ කර ඇත්තේ පවුලක ලේඛකයෙක් ඉපදීම එහි අවසානය සනිටුහන් කරන බවයි. පවුලක් සංවෘතය; අනන්‍ය කලාපයකි. එමෙන්ම පරම්පරා ගත යම් යම් දෑ ගබඩා වන රහස්‍ය කුටීරයකි.
බුකර් සම්මානලාභී කෘතියක් වන God of small things හි ලේඛිකාව Arundati Roy ඇගේ නවතම කෘතිය වන, memoir ශානරයේ Mother Mary comes to me තුළින් සිය මවගේ ජීවිතය ප්‍රමුඛ කොට ගත්, ලේඛිකාවගේ ජීවිතයේ ප්‍රථම කාර්තු විවර කරන්නීය. පවුලක් ලෙසින් සඟවා ගත යුතු යැයි, කෙනෙක් හඟින දෑ නොසඟවා පවසන්නීය.
2022 වසරේදී සිදුවන සිය මවගේ අභාවයෙන් පසු, හිත හදා ගැනීමට ලියුවා යැයි පවසන මෙම කෘතිය මව මෙන්ම දියණිය ගැනද කෙරෙන ස්වයං විවරණාත්මක කෘතියකි.

- කවුද මේ Mary Roy..
සිරියානු සම්භවයකින් හා ක්‍රිස්තියානි විශ්වාසයකින් යුතු කේරළ පවුලක උපත ලබන Mary Roy ට අත් වන්නේ සිය පියාගේ තාඩන පීඩනවලට මැදි වූ පවුලක ගෙවන ජීවිතයකි. ඇය එය නිමා කිරීමට සිතා, සිය අත පතන ප්‍රථමයා හා විවාපත් වන්නීය. ඒ ද සිය ප්‍රජාවෙන් පිටස්තරයකු සමඟයි. Asaam ප්‍රාන්තයේ තේ වත්තක කළමනාකරුවකු වන සිය සැමියා සමඟ පදිංචියට යන Mary Roy තමන් පතන ජීවිතය නොලබන්නීය. පාළු තේ වත්තක, හුදකලා මිනිසුන්, හුදු සතුට සොයාගන්නා පහසුතම ක්‍රමය වන, මත්පැන්වලට තදින් ඇබ්බැහි වූ සිය සැමියා Micky Roy අතැර, දරු දෙදෙනා (Arundati හා ඇගේ වැඩිමල් සොයුරා Lalith සමඟ) තමිල්නාඩුවේ කඳුකර ප්‍රදේශයක් වන Ooti වෙත පැමිණෙන්නීය. ඒ, 1962 දී ඉන්දියාව හා චීනය අතර ඇතිවූ යුධමය වාතාවරණය හේතුවෙන්, කාන්තාවන් හා දරුවන් අවදානම් ප්‍රදේශවලින් ඉවත් කිරීම නිසා වුවද Mary Roy සැමියාගෙන් ස්ථිර ව වෙන් වන්නීය. එය එකල සම්පූර්ණයෙන්ම වාරිත්‍රයකි (taboo).
- පියාගේ උරුමය දියණියට අහිමි ද…
Mary Roy සිය තෙහැවිරිදි දියණිය (Arundati) හා පස් හැවිරිදි පුත්‍රයා ද සමග වෙසෙන්නට සොයා ගන්නා නිවස, ඇගේ පියාට අයත් කුඩා නිවහනකි. එය Ooti හි ශීතල පරිසරයට ඔරොත්තු නොදෙන, නඩත්තු නොකිරීම නිසා, අබලන් ව ගිය එකක් වුවද තිදෙනාට යාමට වෙන තැනක් නොමැත. දිනක Mary Roy ගේ මව සහ සොයුරා ඔවුන් පලවා හැරීමට එහි පැමිණේ.Travancore Christian Succession Act අනුව දියණියට පියාගේ දේපල උරුම නැත. එහෙත් Mary Roy සටන් වදියි. එය රාත්‍රී කාලයකි. නීතිඥයෙකු සොයමින් වීදිවල සරණ ඔවුන්ට හමු වුණු නීතිඥයා පවසන්නේ සතුටුදායක පුවතකි. ඒ, කේරළයේ එම නීතිය තමිල්නාඩුවට බල නොපැවැත්වෙන බවයි. පසු කලෙක මෙම නීතිය වෙනස් කිරීමටද Mary Roy සමත් වන්නීය.
- ආගන්තුක යාළුවෝ
Mary Roy ඇදුම රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳි අතර, එයට Ooti හි ශීත දේශගුණය මනා පිටුවහලක් විය.
‘ඇය දින ගණන් ඇඳට වෙලා ඉන්නවා. අපි ඈ දිහා බලන් ඉන්නවා.ඇය එයට කැමති වුණේ නැති නිසා අපිට වෙන දෙයක් දිහා බලන් ඉන්න ඕන වුණා. අපි ගේට්ටුවේ පැද්දෙමින් ඒ පැත්තෙන් Ooti වල මල්වතු බලන්න යන හනිමූන් කපල්ස් දිහා බලමින්, ඇතැම් විට කතා කරමින්, ඔවුන් ඇතමෙක් දෙන කැවිලි රස විඳිමින් කාලය ගත කළේ අපට ඕනෑ තාලෙට.
වතාවක් මගේ බඩේ පැපොල බිබිලි , ඒ වගේ ආගන්තුකයෙකුට පෙන්නුවා.ඔහු මා ගැන ඇති වූ අනුකම්පාවෙන් යුතුව, මගේ අතින් අල්ලාගෙන Mary Roy ළඟට ගිහින් ඒ ගැන පැවසුවා. ඇය, ඔහු ගිය පසු, මගේ කම්මුලට සට පට ගාලා ගැහුවේ “ඇයි පිරිමියෙකුට බඩ පෙන්නුවේ? එහෙම කවදාවත් කරන්න එපා.’ කියමින්.
- ආදරය හඳුන්වා දුන් කුරුස අම්මා.
අම්මෙකුගේ දයාබර සෙනෙහස ඔවුන් විඳින්නේ Ooti හි වූල් කබා ගොතන්නියකගෙනි. ඇය මුලින්ම Arundati යට හා සොයුරාට පියකරු වූල් කබා දෙකක් තෑගි දෙන්නීය. පසුව Mary Roy ඇඳට සීමා වෙද්දී, Kurussammal නම් වූ එම ගැහැණිය සැබෑ මාතෘ ප්‍රේමයෙන් ඔවුන් ගේ නිවසට පැමිණ එම කුඩා දරුවන් මනුෂ්‍ය ප්‍රාණීන් බවට පත්කරන්නීය.
‘ එයා වතුර උණු කරලා අපිව නෑව්වා. එයා උයන කෑම හරි රසයි. පොඩිම දෙයකින් Kurussammal ට පුළුවන් ගොඩක් රස කෑම වේලක් අපිට දෙන්න.’
- මගේ හිත ගැයුවා… ඊට පසු ගිලුනා..
Ooti වල ජීවිතය වඩ වඩාත් අපහසු වෙද්දී Mary Roy සිය ගම වන කේරළයේ ‘අයමෙනම්’ (ඔබට මතක ඇති, ඒ God of small things හි කියැවෙන ගම බව.)කරා යාමට තීරණය කරන්නීය. එය අසීරු තීරණයකි.Arundati ප්‍රාන්ත හරහා සිදුවූ දුම්රිය චාරිකාව ගැන මෙසේ පවසන්නීය.
‘ දුම්රිය කවුළුවෙන් තමිල්නාඩුවේ දුඹුරු පැහැය, දිළිසෙන කොල පැහැයකට පරිවර්තනය වීම මම බලා සිටියා. දකින දකින අය සුදු වතින් සැරසී, කළුකුඩ ඉහල ගෙන උන්නේ. වෙනස්වීමේ සතුටින් මා ඔකඳ උනා. නමුත් ඒ දිගු කලකට නම් නොවේ.’

- ගෙදර කලබගෑනි මැද, ගඟ මගේ සරණ විය.
අයමෙනම් නිවස අපූරු විශ්වීය තැනක් බඳු යැයි Arundati පවසන්නීය. ඇය එහි නිවැසියන් හඳුන්වන්නේ කොස්මොපොලිටන්වරු ලෙසිනි. ඇගේ මිත්තණිය සිය සැමියාගෙන් වූ පහර කෑමක අප්‍රසන්න කැළලක් හිසේ රඳවාගත්, මුළුමනින්ම මෙන් අන්ධ තැනැත්තියකි. එහෙත් ඇය වයලීන වාදිකාවකි.
‘මගේ මිත්තණියගේ සොයුරිය, සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රපතිලාභිනියක වූ අතර, ඇය සිලෝන්වල කොලිජියක උගන්නලා තිබුණේ. අපේ නොපෙනෙන හිඟන පාත්තරේ දිගු වෙලා තිබුණේ ඇයට. දැඩි ක්‍රිස්තියානි මතවාදී ඇයට අප පිළිගන්නට සිදුවුණා. නමුත් ඒ අප්‍රසාදය දිගින් දිගටම තිබුණා. මගේ මාමා G.Issac ඉන්දියාවේ මුල්ම Rhodes ශිෂ්‍යත්වලාභීන්ගෙන් කෙනෙක්. ඔහු තමයි අපිව කලින් ගෙදරින් පන්නන්න අපේ ආත්තම්මා එක්ක ආවේ. පසුව ඔහු මටයි, අයියටයි කරුණාවන්ත උනා. අපිව ගඟට එක්ක ගිහින් පිහිනන්නත් ඉගැන්නුවා. ගෙදර කෝකි ගැහැනිය, කොචු මාරියා පවා දුටුවේ අපි එතනට අකැප කොටසක් ලෙස. දවස් දෙක තුනකට වතාවක් ඔය කොස්මොපොලිටන්වරු රණ්ඩු වෙනවා. පිඟන් බිඳෙනවා. ගෙදර දෙදරනවා. මම හෙමිහිට ගඟ දිහාට යනවා. අපිරිසිදු යැයි සැලකෙන කුලවල (untouchable) අය මගේ හිතවතුන් වුණා. පසුව God of small things වල Velutha ගේ චරිතයට මා යොදා ගන්නේ එහෙම හඳුනාගත් වැඩිහිටි මිතුරෙක්.’

- මම ඔබට දෙගුණයක් ආදරෙයි..
Mary Roy තමන්ට ‘Arundati Roy’ ලෙස උපදින්නට නියමිතව සිටි සිය දෙවැනි දරුවා කළලයක්ව තිබියදී කුරිරු ලෙස ගබ්සා කරන්නට ද වෑයම් කරන්නීය. Arundati සිඟිත්තියකව සිටියදී Mary Roy ඇයට බැණ වදින්නේ, ‘මම අනාථ නිවාසෙකට උඹව අතැරියා නම් ඉවරයි. මගේ මේ ඔක්කොම ලෙඩ උඹ නිසා බැල්ලී.’ කියමිනි.
Arundati සිය කෘතියේ ඉන්දියාව හදුන්වන්නේ ‘ පුත්‍ර වන්දනීය දේශය’ (land of son worshippers) යනුවෙන් වුවද, සිය මව, ඇගේ පුත්‍රයාට වෙනස් කම් කළ අයුරු සඳහන් කරන්නේ කම්පාවෙන්.
‘අයියාට තාත්තා ගේ ආදරය, විශාල නිවසක තිබූ සුවපහසුව මතකයි. එබඳු මතකයන් නැති මට ඒ වෙනස නිසා දැනෙන දුක අවම උනත් අයියා සතුටින් හිටි වාර ගණන අල්පයක්. එහෙම ඉඳිද්දී එයා බොරුවට බොක්සින් ප්ලේ කරන්නේ මගේ වටේ නටමින්. එයා කියන්නේ එතකොට එයා Cassius Clay කියලා. දුක හිතුණම එයා අඬන්නේ නැහැ.මේසේ උඩ ඔළුව තියාගෙන නිදි වගේ ඉන්නවා. වතාවක් අපට ඉස්කෝලෙන් ලැබුණු රිපෝර්ට්, Mary Roy මහත්මිය ( පොතේ Arundati සිය මව ගැන සඳහන් කරන්නේ එසේ Mary Roy මහත්මිය ලෙසින්) සංසන්දනය කළා. අයියට තිබුණේ සාමාන්‍ය සිසුවෙක් ( average student) කියලා ලියලා. නමුත් මට තිබුණේ දීප්තිමත් සිසුවෙක්(brilliant student) කියලා. ඇය මා පසසන තරමටම අයියාට දඬුවම් ලැබුණා. අදටත් මට හිතෙනවා මට අප්පුඩි ගහද්දී, තව කෙනෙක් අනික් කාමරේ නිහඬවම ගුටි කනවා නේද කියලා..’
Mary Roy සිය පුත්‍රයා ට ‘පුරුෂොත්තමවාදි ඌරා ‘ලෙස ආමන්ත්‍රණය කළ අතර, ‘උඹ කැත මෝඩයෙක්..මැරියං’ කියමින් බැණ වැදුණු අයුරු Arundathi සිහි කරන්නීය.
‘ඒක හරියටම ලෝකේ පිරිමින්ගෙන් ඇයට උනු අසාධාරණ වලට මගේ අසරණ අයියා දණ්ඩනයට ලක් කිරීමක් වගේ.’
නමුත් Mary Roy ප්‍රකෘතිමත් ලෙස සිය දරුවන් සමඟ ඉඳිද්දි ‘මම ඔබට දෙගුණයක් ආදරෙයි. යනුවෙන් කියන බවත්… ඒ අම්මා හා තාත්තා දෙන්නාම වෙනුවෙන් වීය යුතු බවත් Arundati පවසන්නීය.
- Pallikoodum බිහිකළ ටීචර් Mary.
Arundati Roy පවසන්නේ Mary Roy සිය භීතීන් නිසා ජීවිතයට එක්විය හැකිව තිබූ සොඳුරු පැතිකඩ හා අසම්මුතියකින් වෙළුණු බවයි. එම අඳුරු රේඛා ඇයගේ ජීවිතයේ අමිහිර චිත්‍රණය කළ නමුදු Mary Roy කේරළයේ කුට්ටායම්හි ආරම්භ කරන pallikoodum ( මලයාලම් හා ද්‍රවිඩ බසින් පාසල) තුළින්, ඇගේ ජීවිතයෙන් ප්‍රජාවට කෙරෙන අධ්‍යාපනික පරිණාමය හා ඉන් ස්පර්ශ කළ පුළුල් පරාසයන් අදටත් වලංගු වන ලෙස සිතියම් ගත කරන්නීය. Corpus Christi High School ලෙස හැඳින්වෙන Mary Roy ගේ පාසලට අද ඇත්තේ ඉහළ පිළිගැනීමකි.
‘අපට තිබුණේ නැවෙන; තල්ලු වෙන ඉස්කෝලයක්.’ රොටරි සමාජය ආශ්‍රිතව .Mary Roy අරඹන ඒ පාසල ගැන Arundathi මෙසේ මතක් කරයි.
‘කෝපි කෝප්ප සිගරට් කොට නිතරම පිරිසිදු කරන්න වුණා අපිට.. ඒ වගේම අපේ ඩෙස් පුටු වගේ දේවල් පවා පැත්තකින් තියන්න ඕන. මොකෝ ආයෙමත් එයාලා ඔක්කොම වනසන නිසා.’
සෛද්ධාන්තිකව පාසල පවත්වා ගැනීමේ අසීරුතා අවම වුවද ප්‍රායෝගිකව පාසල් පිරියත නිසි පරිදි පවත්වා ගැනිමේ දුෂ්කරතා සිය මව විඳි අයුරු දියණිය එසේ පවසන්නීය.
- තන පටයක් ප්‍රදර්ශනයේ..
1964 දී අරඹන පාසල තුළ සිදුවූ සිද්ධියක් Arundati මතකයට නගයි.
‘ නව යෞවනියන් ප්‍රථම වතාවට තනපට ඇඳීම අභව්‍ය ලෙස ගනිමින් පිරිමි ළමුන් ඔවුන් අපහසුතාවයට ලක් කරන බව සැලවූ Mary Roy මහත්මිය මට මගේ තන පටයක් ගෙනෙන්නට කියා, පිරිමි ළමුන්ට එය පෙන්නන්නේ ‘ මෙන්න මේක තමයි බ්‍රා කියන්නේ. බලාගන්න. මේක අරුමයක් නොවෙයි.’ කියමින්.
Mary Roy ස්ත්‍රීවාදනියක නමුදු ඇය සැබෑ ස්ත්‍රීවාදිනියක ද යන්න ඇගේ දියණිය ප්‍රශ්න කරන්නීය.
‘ස්ත්‍රීවාදනියක් යනු පුරුෂ විරෝධී පුද්ගලයෙක් නොවේ. එය කාන්තා අයිතිවාසිකම් සඳහාම කරන අරගලයක් විය යුතු නැහැ. මිනිසුන් හා ස්ත්‍රීන් එකිනෙකාට ගරු කරන්නන් වීම සමානයන් වීම මෙන්ම සැබෑ ආදරණිය මිනිසකුට නිසි ගරුත්වය ලබාදීම එහි ප්‍රබල සාධකයෝ වෙත්. නමුත් මගේ ආදරණීය සොයුරාට ඇය එසේ සැලකුවේ නැහැ.’
- මම ඇගේ සූරවීර පෙනහැල්ලයි.
Mary Roy අසනීප වන සෑම වතාවකදීම ‘ මම මැරෙන්න හදන්නේ. කවුද ඔයාලව බලාගන්නේ’ යනුවෙන් සිය දරුවන්ට කියන්නීය.
‘ මට එතකොට දැනුනේ මම ඇගේ ශරීරයේම දිගුවක් ලෙස.. හරියට ඇගේ පෙනහැල්ල වගේ. මම ඇයට හුස්ම උපද්දනවා වගේ. මට අවුරුදු දාසයේදී ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උගන්වන පාසලකට ගියා. එතෙන්දි මම දැනගත්තා මම ස්වාධීන බව. Mary Roy මියැදුණත් මා මිය නොයන බව. Mary Roy ට තේරුණා ඇගේ පෙනහැලි ළමයා දැන් තනියම හුස්ම ගන්නා බව. ඉන් ඇය තුළ හටගත්තේ දැඩි දුෂ්ට චේතනාවක්.’
Arundati Roy සිය ග්‍රන්ථකරණය හරහා, අන්තර්ජාතික ලේඛක ලෝකයේ උත්කර්ෂවත් චරිතයක් වන නමුදු ඇගේ ජීවිතයේ මුල් අවදීන් ගතව ඇත්තේ දරිද්‍රතාවය; පීඩනය; අතිර බව මෙන්ම කායික මානසික අපහරණයන් සමග කැළතුණු භීතීන්ගෙන් බව
” Mother Mary comes to me.’ කියයි.

‘Mary Roy ගේ ප්‍රසිද්ධ ජීවිතය හරිම අසාමාන්‍යයි. මට ඇත්තටම දැනෙන හෝ හැඟෙන දෙය පිළිබඳව සෑහීමකට පත්වන්නට බැහැ. පොත් ලියන්නියක ලෙස ඒ මුළු මහත් පදාසයම මට අභියෝගයක්. මට පුළුවන්ද මේ නොවිසඳෙන සුළු චරිතය ගෙනහැර පාන්න..’
Mary Roy ගේ අවිනිශ්චිත හැසිරීම් නම් කළු වලා මැද මතුවූ රිදී රේඛා අරුන්දති මෙසේ දකින්නීය.
‘ ඇය මා ඇණ ගැසුවා මෙන්ම නිර්මාණය කරා. එසේ මගේ එක් අඩක් බිඳෙද්දී ;කුඩා වෙද්දී; කැඩෙද්දී අනිත් අඩ වඩාත් නිර්මාණශීලි ලෙස සැකසුණා.’
Arundati මෙසේද පවසන්නීය.
‘ මම දැන් ඉන්නා පුද්ගලයා ලෙස එසේ ලිවීම මගේ ළමා කාලයට කරන ද්‍රෝහී බවක්ද වන්න පුළුවන්. එය එහෙමනම් විශාල පාපයක්. නමුත් එය විනිශ්චය කිරීමට සුදුසු තැනක මා නැහැ.’
Arundati Roy ගේ ‘ Mother Mary’ ගැන නිසි විනිශ්චයක් දීමට පාඨකයාට හැකිවේද…
උද්යෝගී පළිහක්කාර
~ අන්තර්ජාල මූලාශ්‍ර ඇසුරෙනි ~





