පාර්ලිමේන්තුවේ උසස් කමිටුවට බොරු කියා වංචා කර පැමිණි පුද්ගලයෙකුගෙන් වංචා, දුෂණ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුවෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
අනෙක් පසින් අල්ලස් කොමිසම දැන් මාධ්‍ය සංදර්ශන සිදුකරන තැනක් බවට පත්ව ඇති බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
”අල්ලස් දුෂණ කොමිසමට ඉතාම බලගතු පනතක් ඒවගේම දේපොළ නැවත අත්පත්කරගැනීමේ බලගතු පනත් පසුගිය ආණ්ඩු කාලේ නිර්මාණය කරලා අනුමත කළා. අපි බලාපොරොත්තු වුණා ඒ ටික කරන්න. නමුත් මේ ආණ්ඩූව පටන් ගන්නකොටම ඒක දේශපාලනීකරණය කළා. අද ඉන්න කොමසාරිස් ජනරාල්වරයා පත්වෙලා තියෙන්නෙම වංචාවෙන්. ඒ බව දයාසිරි ජයසේකර මහත්තයා පාර්ලිමේන්තුවේදී මනාව ඔප්පු කළා. ඔහුට ලජ්ජා බය තියෙනවා නම් ඉල්ලා අස්වෙලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේකට තරඟ කළ පුද්ගලයාට, ඔහු තමයි සුදුස්සා. ඔහුට ලබාදෙන්න ඕනේ. මොකද දැන් පත්වෙලා ඉන්න කෙනා නඩු ඇහුවට නඩු ඉදිරිපත් කරන්නෙක් හැටියට වැඩකරලා නැහැ. ඒක පුරුදු නීතිපති දෙපාර්තමේන්තුවේ පුද්ගලයට. ඒක පනතෙත් කියල තියෙනවා. ඊට කලින් සරත් ජයමාන්න මහත්තයා හිටියා. එතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටියේ. පාර්ලිමේන්තුවේ උසස් කමිටුවට බොරු කියල, වංචා කරලා කරලා අපු කෙනෙක්ගෙන් කොහොමද වංචා දුෂණ හොයන්නේ. ඊළඟට අහුවෙලා තියෙනවා මාධ්‍ය සංදර්ශනයකට. හැම සතියෙම මොකක් හරි අත්අඩංගුවට ගැනීමක් කලේ නැත්න්ම තමන් වැඩ කළේ නෑ කියන හැඟීමක් අල්ලස් කොමිසමට තියෙනවා. ඒ නිසා කවුරු කවුරු හරි අත්අඩංගුවට අරගෙන ඉදිරපත් කරනවා. මේකේ ප්‍රතිඵලය තමයි රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණයෙන්ම වැඩ කිරීම නතර කිරීම. රටක් බංකොලොත් වුණා. ඒකට වගකිව යුතු කාටද දඬුවම් දීලා තියෙන්නේ. කාටද නඩු පවරලා තියෙන්නේ. සොයා බැලීමක් කරලා තියෙනවද? ඒ මහා පරිමාණ වංචනිකයින්, ජාවාරම්කරුවන් කිසිවෙක් ගැන කිසිම වැඩසටහනක් නෑ. ඒ වගේම මේ ආණ්ඩුවේ අයට එරෙහිව නැගෙන චෝදනාවලට කිසිම ආකාරයක් ප්‍රතිචාර දැක්වීමක් නෑ. කොහොමද ඉතින් ස්වාධීන අල්ලස් කොමිසමක ක්‍රියාකාරීත්වය ගැන හිතන්නේ.” යනුවෙන් ඔහු තවදුරටත් කියාසිටියි.





