ආසිරි පෞද්ගලික රෝහල විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට පටහැනිව වැඩි මිලට ඖෂධ 11 ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ තවත් එක් තීරණාත්මක කඩඉමක් ඊයේ (10) දින පසු කරනු ලැබීය.
ඒ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති එම නඩුව විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඔ මහාධිකරණය නිකුත් කළ නියෝගයකට එරෙහිව නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂවරුන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර දැමීමයි. ඒ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වූ නි. සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විසින් මතු කළ අභියාචනයක් ගැන අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි බවට වන තර්කය පිළිගනිමිනි.
ඒ අනුව මේ වන විටත් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුකරය කිසිදු බාධාවකින් තොරව ඉදිරියට යනු ඇති.
වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් නුගේගොඩ පදිංචි සනත් අතුකෝරල විසින් ආසිරි රෝහලට විරුද්ධව කළ පැමිණිල්ලකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර ඖෂධ පරීක්‍ෂකවරයා විසින් පවරන ලද මෙම නඩුව ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් නිසා කතා බහට ලක් විය
නඩුවේ විත්තිකරුවන් ලෙස අදාළ රෝහල සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන විශාල් බාලි, අශෝක පතිරගේ, අන්කූර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න, සුදර්ශන් අහංගම, ගාර්දිය ලොකුගේ, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ ඩී. බී. සඳතිසරු යන අය නම් කර තිබුණද උක්ත අධ්‍යක්ෂවරුන් 8 දෙනා කිසිදු අවස්ථාවක අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 25 වැනි දා නියෝග කරනු ලැබීය.
පසුව අධිකරණය වෙත ඉදිරිපත් වූ ඔවුහු ඇප මත නිදහස් කරනු ලැබීය.
එසේ ම මෙම නඩුකරය විමසූ විනිසුරුවරිය රාජකාරි නිවාඩු ගෙන තිබු අවස්ථාවක වැඩබලන විනිසුරුවරියක් මගින් එය කැඳවා, පැමිණිලි පාර්ශ්වයේ කිසිවෙකුත් නොමැතිව නඩුව සමථයකට පත් කරගැනීමක් සම්බන්ධයෙන් සහ උසාවි ලේඛන කුරුටු ගෑමක් සම්බන්ධයෙන්ද මහත් ආන්දෝලනයක් ඇති විය.
ඒ සම්බන්ධයෙන් වෙන ම විමර්ශනයක් ක්‍රියාත්මක විය.





