2026 අයවැය මඟින් වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප රු. 1750ක් දක්වා ඉහළ නැංවිය.
මේ වන විට ඔවුන් දෛනිකව ලබන රු. 1350ක වැටුපට වතු සමාගම් වෙතින් රු. 200ක් සහ රජය මඟින් පැමිණීමේ දීමනාවක් ලෙස රු.200ක් ලෙස රු.400කින් වැටුප් ඉහළ දැමීමක් සිදුකර තිබේ.
ඒ අනුව දින 25ක් සේවයට පැමිණෙන වතු කම්කරුවෙකුට රු. 10,000ක මාසික වැටුප් වැඩිවීමක් සිදුවෙයි.
මෙය වතුකම්කරු ජනතාවට ඉතා සුවදායක පුවත් වුවද මේ වන විට විපක්ෂයේ පාර්ශවයෙන් ප්‍රශ්න නගමින් සිටින්නේ රජයේ බදු මුදලින් රජය රු. 200ක දීමනාවක් ලබා දෙන්නේ කෙසේද යන්නයි.
මේ දිනවල පාර්ලිමේන්තුව තුළ මෙය මහත් විවාදයට ලක්ව තිබෙන කාරණයක් වන අතර ආණ්ඩු පාර්ශවයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික අද (12) ඒ සම්බන්ධයෙන් යම් සංවේදී කතාවක් කරනු ලැබීය.
අවම වරප්‍රසදවත් නොලැබ වසර 200ක් තිස්සේ වෙහෙසුණු වතුකම්කරුවන් වෙනුවෙන් ලිබරල්, දක්ෂිණාංශික දේශපාලන කඳවුරට මෙතෙක් කාලයක් කළ නොහැකි වූ දේ වත්මන් ආණ්ඩුව සිදුකර තිබීම මෙන්ම වතුකම්කරු ජනතාවගේ ජීවන අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් ඊට මැදිහත්වීම පිළිබඳ සමාජයට සාධනීය හැඟීමක් පැවතියද එය දේශපාලන පිට්ටනිය තුළ හසුරුවන්ට යන්නේ ඉතාම පටු මෙන්ම මෙතෙක් කල් සිදුවූ අසමත් වසාගැනීමට දරනා උත්සහයක් ලෙසද?
කෙසේවෙතත් මෙකී කාරණය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ගොඩනැගීම දේශපාලනිකව වුවද වඩා යහපත් ප්‍රවේශයකට පැමිණීමක් විය හැකිය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික දැක්වූයේ මෙවන් අදහසකි.
”වතුකම්කරු වැටුප් වැඩිවීම, එය වතු හාම්පුතුන්ගෙන් 200ක් සහ රජයෙන් රු.200ක් සහිතව 1750 දක්වා වැඩිකරනවා කිව්වම මොකක්ද අපට හිතෙන්න ඕනේ. අපිට සතුටු හිතෙන්න එපැයි. මේ රටේ ඕනෑම මනුස්සයෙකුට සතුටු හිතෙන්න ඕනේ. මේ රටම ඒ මිනිස්සුන්ට ණයයි. අවුරුදු 200ක් තිස්සේ මේ රටට ඩොලර් ගෙනාපු මේ රට සාරවත් කරපු හැබයි ඒ වෙනුවෙන් අවම වරප්‍රසයක්වත් නැති, අවම වැටුපක්වත් ගත්තේ නැති මිනිස්සු. ඒකට කරන්න තියෙන දේවල උත්සහ කරලා මේ මොහොතේ ලොකු තර්කයක් මතුකරගෙන එනවා රජයෙන් රු. 200 දෙන එක වැරදියි කියල. කොහොමද එහෙම කියන්නේ ඉතාම නරකයි. දැන් මේ රු. 200 ආණ්ඩුවෙන් දෙන්නේ කොහොමද කියල අහන කට්ටිය 2015 ජන්ද පොරොන්දුවක් රු.1000 දක්වා වතුකම්කරු වැටුප් වැඩි කිරීම. මනෝ ගනේෂන් මන්ත්‍රීතුමාට මතක ඇති. මොකක්ද වුණේ අවුරුදු හතරටම මොකක්වත් කළේ නෑ. මේක හැමදාම වෘත්තීය සමිති, හාම්පුතුන් එක්ක කේවල් කරලා කරපු වැඩක්. නමුත් වෘත්තීය සමිතිවලට ඒ බලය නෑ. ඉතිහාසයේ පළමුවතාවට ආණ්ඩුව එය ප්‍රශ්නයක් විදිහට භාරගෙන වතු හාම්පුතුන් එක්ක කේවල් කරලා සාකච්ජා කරලා තමයි මෙතනට ඇවිත් තියෙන්නේ. එහෙම කළාට පස්සේ සමහර මන්ත්‍රීවරු ඇයි 200 දෙන්නේ කියල අහනවා. මේකේ තියෙනවා ජාතිවාදී පැත්තක්. කවුරුත් ගොවියට පොහොර සහනාධාරය දෙද්දී ඕක අහන්නේ නෑ. ධීවරයාට ඉන්ධන සහනාධාරය දෙද්දී ඕක අහන්නේ නෑ. එහෙම කරන්න එපා. මේක අපි හැමෝම සතුටු වෙන්න ඕන දෙයක්. විශේෂයෙන් වතු කම්කරු ජනතාව කියන්නේ දිගින් දිගටම අපිට ජන්දය දීපු මිනිස්සු නෙවෙයි. ඔවුන් ඔය කොළ පාටට ජන්දේ දීපු මිනිස්සු. අන්තිමට තියපු ජන්දේ අපිට දීලා ඇති. හැබැයි මේකෙන් සතුටු වෙන්න ඕනේ ඔබතුමන්ලා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේක පිළිගන්න.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මෙවැනි සංසිද්ධීන් හරහාම මේ රටේ අනාගත දේශපාලන ක්‍රියාකාරීත්වයන් වෙනසකිනුත් වෙනසකට ලක්වීමට වුවද ඉඩ නැතුවා නොවේ.





