/ Nov 13, 2025

වෙච්ච පොරොන්දු ඉටුකරන්න. පස්සේ කෙඳිරිගාන්න එපා – නාමල්

ආණ්ඩුව වහාම ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකළ යුතුව ඇති අතර 21 වැනිදාට සිදුකරන්නේ ඒ ගැන මතක කිරීමක් බවත් පසුව කෙඳිරිගෑමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (12) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඔහු තවදුරටත් පැවසුවේ වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21 වැනිදාට නුගේගොඩට පැමිණෙන බවයි.

ආණ්ඩුවේ මර්දනයට එරෙහි, රැවටීමට එරෙහි,ගොවියා,ධීවරයා,කම්කරුවා රැකගැනීම වෙහෙසෙන සියලු දෙනා මේ වන විට 21 වැනිදා රැස්වීමට සූදානමින් සිටින අතර මේ මොහොතේ කරේ තියාගෙන යා යුත්තේ පක්ෂ අරමුණු නොව ජනතාව වෙනුවෙන් සිදුකරන කාර්ය බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ අනුව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහි ඕනෑම කෙනෙකුට 21 රැස්වීමට සම්බන්ධ විය හැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

”ස්වෙච්ජාවෙන් විශාල පිරිසක් එදාට එනවා. බස් එකේ, කෝච්චියේ, බයිසිකලයේ, පයින් හම විදිහෙන්ම එනවා. සෙනග පෙන්වන එක 21 බලාගමු. නමුත් ආණ්ඩුව මේ පණිවිඩය කියවා ගත යුතුයි. මොකද ආණ්ඩුවේ මර්දනයට, බොරුවට, රැවටීමට, ජනතාව සුදානම් නෑ. වෙච්ච පොරොන්දු ඉටුකරන්න ඕනේ. ඒකට අපි මතක් කිරීමක් කරනවා. පස්සේ කෙඳිරි ගාන්න එපා.ආණ්ඩුවට වෙන්නේ අන්තිමට මට ඌ ගැහුවා කියන එක තමයි. මොකද ආණ්ඩුවට ගහගන්නේ ආණ්ඩුවමයි. අපි නෙවෙයි. ආණ්ඩුව වෙච්ච පොරොන්දු ටික මතක් කරලා දෙනවා. ඒ මතක් කරලා දෙනකොට ආණ්ඩුවට තරහ යනවා. අපි ආණ්ඩුවට ගහන්න දෙයක් නෑ. ආණ්ඩුවට අන්තිමට කියන්නේ වෙන්නේ මට ඌ ගැහුවා, මට ඌට ගැහුවා කියල තමයි.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top