2022දී කඩා වැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති අතර එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.
ඒ, අද (17) පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලාධාරීන්ගේ සංගමය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවේදීය.
පුරවැසියාගේ යහපැවැත්මට සෞඛ්‍ය ක්ෂේත්‍රයක මනා පැවැත්ම අතිශය වැදගත් බවත් එය තම රජයේ මුලික අරමුණක් බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට ලැබිය යුතු පහසුකම් කප්පාදු කිරිමට රජය බලාපොරොත්තු නොවන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදි සලකා බලන බවයි එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වැදගත් මානව සම්පතක් වන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බවද, ඒ අනුව ඔවුන්ගේ යෝජනා සහ ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරිම මෙම සාකච්ඡාවේ අරමුණ බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එහිදි පවසා තිබුණි.
ඒ අනුව එම සාකච්ජාවෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත පැවසුවේ සකච්ජාවූ කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණයක් ගන්නා බවයි.
2026 අයවැය මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සඳහා නිසි විසඳුම් ලැබී නොමැති බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.
ඒ අනුව රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සායන හැර අතිරේක කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ඊට අයත්ය.





