සීතාවක ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදී සර්ව ජන බලයේ මන්ත්‍රී ජාතික ජන බලවේගයට සහය වීමේ හේතුව පාදක කරගෙන අද (18) පාර්ලිමේන්තුවේදී එහි නායක දිලිත් ජයවීර විසින් ආණ්ඩුවට විශාල දෝෂාරෝපණයක් සිදුකරන ලදී.
ඉතාම ආවේගශීලීව අදහස් දක්වමින් ඔහු පැවසුවේ ලැබෙන පළමු මොහොතේම වත්මන් ආණ්ඩුව පරාජය කරවීමට ඕනෑම කැපකිරීමක් කරන බවයි.
”සීතාවක නගර සභාවේ අද මේ ආණ්ඩුව කරපු මේ තුච්ජ වැඩේ අපේ හිටපු මන්ත්‍රීවරයා අහිංසක මනුස්සයෙක්. ඒ මනුස්සයා සල්ලිවලට අරගෙන අද සීතාවක නගර සභාව හැදුවා. මේකෙන් සටහන කළේ මේ තුච්ජ දේශපාලනය කවදාවත් මේ තත්ත්වයට පත්වෙලා තිබුණේ නෑ. මම අද කියනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,ඔබ හීන්සැරය කියවන්න. අලියට කටුස්සගෙන් වෙච්ච දේ කියවන්න. අපි කුඩා පක්ෂයක් හැටියට දේශපාලනයට ආවට අපිට මහා විශාල ආත්ම ශක්තියකිනුයි අපි දේශපාලනයේ ඉන්නේ. විශාල දර්ශනයක් එක්ක ඉන්නේ. මේ රටට අවංක ආදරයකිනුයි ඉන්නේ. මේ වගේ බැලුවැඩ කරන දේශපාලනයක් අපි කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ මේ ආණ්ඩුවෙන්. මේ රටේ මිනිසු ජන්දේ දුන්නේ මාලිමාවට නෙවෙයි. මේ රටේ මිනිසු ජන්දේ දුන්නේ ඒ වෙලාවේ තිබුණ දේශපාලන සංස්කෘතියේ නිවැරදි කිරීමක් අවශ්‍යයි කියල මේ රටේ අහිංසක මිනිස්සු හිතපු නිසා. අද මොකද කරන්නේ තුන්වරක් පැරදුණු සීතාවක සභාව හදාගන්නට, මම ගිය සතියේත් ඔහුත් එක්ක හිටියේ. සභාපතිතුමාගේ කාර් එකෙන් ගෙනල්ලා පොලිස් ආරක්ෂාව දීලා මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන පක්ෂයක්, ආණ්ඩුවක් තමයි අද තියෙන්නේ. මේකද කරන්න හදන වෙනස. මොවුන් දන්නවා මං ගැන. මම නැවත මතක් කරලා දෙනවා. කොයි මර්දනය ආවත් තව තවත් ජවය වැඩි කරලා මේ මාලිමා ආණ්ඩුව ලැබෙන පළමුවෙනි මොහොතේම ගෙදර යවන්න කටයුතු කරනවා. ඒ සඳහා කරන්න තියෙන මොනම කැපකිරීම වුණත් කරනවා. ඒක අද සටහන් කරල් තියාගන්න.” යනුවෙන් දිලිත් ජයවීර මන්ත්‍රීවරයා පැවසුවේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වී මාස 06ක් ගතවී ඇතත් තවමත් බලය පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශිය සභාව අද පෙරවරුවේ යළි රැස් වූ අතර එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය විවෘත ඡන්දයක් ලෙසද, රහස්‍ය ඡන්දයක් ලෙසද පවත්වන්නේ යන්න පළමුව විමසා බැලුණු අතර ජාතික ජන බලවේගයේ සභිකයන් 23 දෙනා සහ පොදු විපක්ෂය නියෝජනය කළ සර්වජන බලය සභිකයෙකු රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත පළ කළේය.
එහිදි විපක්ෂ නියෝජනය කරන සෙසු සභිකයන් 23 දෙනා සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබේ.
අනතුරුව සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදි සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ සභික පී.කේ. ප්‍රේමරත්න මහතා පත්ව තිබේ. එහිදි ඔහු ඡන්ද 23ක් ලබාගැනීමට සමත් වූ අතර රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත පළකළ සර්වජන බලය සභිකයා සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.





