/ Dec 06, 2025

නාමල්ට නීති විද්‍යාලයට යෑමේ මූලික සුදුසුකම්වත් තිබී නෑ : ෆයිල් උඩට ඇදේ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ලබා ගත් නීතිඥ වරම බොහෝ ආන්දෝලනයට තුඩු දුන් එකකි. ඔහුට නීති විද්‍යාලයේදී විශේෂ සැලකිලි ලැබුණු බවත්, පෞද්ගලික කාමරයකට වී එම විභාගයට ඔහු පෙනී සිටි බවත් විවිධ චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, මේ වන විට නවතම සොයා බැලීමකින් හෙළිව ඇත්තේ නීති විද්‍යාලයට ඇතුළත් වීමේ අවම සුදුසුකම්වත් ඔහු සපුරා නොතිබී ඇති බවයි.

The Examiner වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, 2009 වසරේදී ඔහු නීති විද්‍යාලයට ඇතුළත් කරගත්ත ද ඇතුළත් වීමේ සුදුසුකම් සපුරා නැති බවයි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයට පිවිසීමේ විභාගය මෙරට ඇති අසීරුම විභාගයක් වන අතර ඉතා සීමිත සංඛ්‍යාවක් ඊට ඇතුළු වීමේ සුදුසුකම් සපුරති. ඊට පිවිසීමේ අනෙක් ක්‍රමය වන්නේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් නීති උපාධියක් ලබා නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත් වීමයි. නාමල් රාජපක්ෂ තෝරාගෙන ඇත්තේ දෙවැනි ක්‍රමය වන අතර ඔහු කියා සිටියේ ලන්ඩනයේ සිටි විශ්වවිද්‍යාලයෙන් තමා නීති උපාධිය සපුරාගත් බවයි.

2009 සැප්තැම්බර් 25 දින ඔහු නීති විද්‍යාලයට මෙකී සුදුසුකම් මත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එදිනම එය අනුමත කර තිබේ.

කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි නීති විද්‍යාලය මෙවැනි ඉල්ලීමක් එක් දිනකින් අනුමත කරනු නොලබයි. තොරතුරු පරීක්ෂාවකින් අනතුරුව එය සිදු කිරීම සාමාන්‍ය ක්‍රමය බව කියැවේ.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ විසින් ඉගෙනුම ලැබූ බව කියන සිටි විශ්වවිද්‍යාලය ඔහු නීති විද්‍යාලයේ ලියාපදිංචි වන විටත් මෙරට නීති විද්‍යාලය විසින් සුදුසුකම් ලත් විශ්වවිද්‍යාලයක් ලෙස පිළිගෙන නොතිබූ බව සඳහන් වේ.

එසේ ම ඔහු ඉදිරිපත් කර ඇති අයදුම්පත්‍රය අසම්පූර්ණ බවද හෙළිව තිබේ. නීති විද්‍යාලයට අයදුම් කිරීම සඳහා (අධ්‍යයන) ලකුණු සටහනක් (transcript) සහ උපාධි සහතිකයක් (degree certificate) යන දෙකම අවශ්‍ය වෙතත් නීති විද්‍යාලය වෙත නාමල්ගේ උපාධි සහතිකය ලැබී නැත. ලැබී තිබුණේ ඔහුගේ ලකුණු සටහන (transcript) පමණි.

ඩේලි මිරර් පුවත්පතේ නිර්මලා කන්නන්ගර විසින් තොරතුරු දැනගැනීමේ පණත යටතේ නීති විද්‍යාලයෙන් නාමල් රාජපක්ෂගේ ලිපිගොනුවේ තොරතුරු විමසූ විට තහවුරු වි ඇත්තේ එහි කිසිදු උපාධි සහතිකයක් ඇතුළත්ව ඇත්තේ එකී විද්‍යාලය විසින් එවන ලද ලිපියක් පමණි. එකී ලිපියට අනුවත් ඔහු ලබා ඇත්තේ තෙවැනි පන්තියේ උපාධියක් බව සඳහන් වන අතර එයද නීති විද්‍යාලයට ඇතුළත් වීමේ සුදුසුකම් සපුරන්නේ නැත.

එසේ වුවත් නාමල් රාජපක්ෂ විසින් ශාස්ත්‍රපති උපාධියක් වෙනුවෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත අයදුම්පතක් ඉදිරිපත් කිරීමේදී මෙකියන උපාධි සහතිකය ඉදිරිපත් කර ඇත. එහිද තොරතුරු ගැටලුකාරී බව කියවේ. එය 2009 සැප්තැම්බර් 15 වන දින “උපකුලපති මැල්කම් ගිලීස් (Malcolm Gillies)” විසින් අත්සන් කර ඇතත්, ගිලීස් 2009 ජූලි මාසයේදී විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයෙන් [ඉල්ලා අස්වී] තිබුණි.

මේ සියලු කරුණු එසේ වුවද නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ ඉහළම ලකුණු ලබා සමත් විය. law of obligations සඳහා වන විෂය ත්‍යාගයද දිනාගනු ලැබුවේ ඔහු විසිනි.

ආන්දෝලනාත්මක මෙම කරුණු ඉදිරියේදී බොහෝ සාකච්ඡාවට විෂය වනු ඇති අතර මෙරට වැදගත් ම ක්ෂේත්‍රයක් නියෝජනය කරන නීති විද්‍යාලයේ කටයුතු සම්බන්ධයෙන් ද බරපතළ සාකච්ඡාවක් ඇති වනු ඇති.

(https://www.examiner.media/ වෙබ් අඩවියේ පළ වූ කරුණු බොහෝමයක් මෙහි අන්තර්ගතය)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top