/ Dec 06, 2025

මේ අසීරු මොහොතේ රජය කෙරෙහි විශ්වාසය තබන්න – අගමැතිනිය පාර්ලිමේන්තුවේදී කියයි

ආපදාවෙන් අවතැන් වූ සියලු ජනතාවට ඔවුන්ගේ ජීවිත යළි නගාසිටුවීම සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවත්, අපදාවට පත් ජනතාව වෙනුවෙන් කැප වී කටයුතු කරන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධානවලට මෙන්ම මේ රටේ ජනතාවට සහ සියලු විදේශිය රටවලටත් රජයේ ස්තුතිය පිරිනමන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රට තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය පිළිබඳ අද (03) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාතයවරිය මේ බව සඳහන් කළාය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ මේ මොහොතේ රජය විසින් ඉටුකරමු ලබන භාරදුර කාර්යය සම්බන්ධයෙන් විශ්වාසය තබන ලෙසයි.

”…..මේක අසීරු මොහොතක්. අසීරුවෙන් ජයගත යුතු අභියෝගාත්මක ගමනක් අප ඉදිරියේ තිබෙනවා. එකිනෙකා කෙරෙහි කරුණාවෙන්, ආදරයෙන්, සහ අවබෝධයෙන් කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. ජීවිත අහිමිවූ සියල්ලන් වෙනුවෙන් අපේ හදවත් වල නැගෙන වේදනාව සහ කම්පනය කිසිදා අපේ හදවතින් ඈත් නොවේවි. නමුත් අපි ඉදිරියට යායුතුමයි. මේ දැවැන්ත ව්‍යසනයෙන් හිස ඔසවා නැගී සිටිය යුතුමයි. එකමුතුකමින්, ධෛර්යයෙන්, අලුත් ආකල්පවලින්, යුතුව අලුත් පණක් සහිතව අපි නැගී සිටිය යුතුමයි. මේ මොහොතේ රජය විසින් ඉටුකරන භාරධුර කාර්යය කෙරෙහි විශ්වාසය තබා ඒ සමග එකතුවන සියලු දෙනාටම මම නැවත වරක් ස්තුතිවන්ත වනවා. ඒ වගේම මේ මොහොතේ සියලු පක්ෂ පාට පසෙක දමා මේ රට යලි ගොඩනැගීම වෙනුවෙන් එකතුවී වැඩ කරමු කියන ඉල්ලීමත් මම මේ මොහොතේ අපේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරන්න කැමතියි. විදුලි බිඳවැටීම්, ජලය සහ ආහාර ලබා ගැනීමේ අපහසුතා ඇතුළු අප්‍රමාණ බාධා හමුවේත්, ඔබ පෙන්වූ ඉවසීම, අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය, අපේ සමස්ථ ජාතියේම ශක්තිය බව මම තරයේ විශ්වාස කරනවා.මෙම අසීරු කාලය පුරා, නොයෙක් ආකාරයෙන් ඔබ දැක්වූ දායකත්වයට, ඔබ පෙන්වූ ධෛර්යයට, සහ එකමුතුකම වෙනුවෙන් සිය ගෞරවය සහ ස්තූතිය පළ කරනවා.” යනුවෙන් ඇය සඳහන් කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top