/ Dec 06, 2025

දිට්වා හමා ඇත්තේ පැලවත්තෙන්ද? රනිල් මොකක්ද මේ කියන කතාව?

පාර්ලිමේන්තුවේ බලය ගිලිහි එය ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානය විසින් රාජ්‍ය බලය ක්‍රියාත්මක කිරීම වත්මන් අර්බුදය උත්සන්න වීමට හේතුවී ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (03) කොළඹ මල් පාර දේශපාලන පක්ෂ කාර්යාලයේදී විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමේදී පවසා තිබේ.

නැවත රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ඊට මග පෙන්වීමට සියලු ආගමික, දේශපාලන නායකයින් සහ විවිධ අංශවල ප්‍රමුඛ පුද්ගලයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවිය යුතු බවට එහිදී තීරණය කර ඇති අතර පළමු රැස්වීමේ මුලසුන හෙඹවීම සඳහා මහා නායක හිමිවරුන් සිව් නමට ආරාධනා කිරීමටද යෝජනා වී ඇත.

ඊට අමතරව හින්දු ප්‍රභූවරුන් සමග සාකච්ඡා කර හින්දු කටයුතු අමාත්‍යවරයෙකු, අමාත්‍යංශ ලේකම්වරයෙකු, හින්දු කටයුතු අධ්‍යක්ෂවරයෙකු, සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා පත් කළ යුතු බවට එහිදී අදහස් පළව තිබේ.

කෙසේවෙතත් මේ වනවිට ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියා කරන බව පක්ෂ නායකයින් පවසා ඇති අතර පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලය විසින් අද රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන බවට චෝදනා කර තිබේ.

පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට පැවරීම සහතික කිරීම සඳහා පක්ෂ නායකයින් කැඳවා තීරණයක් ගත යුතු බවයි එහිදී අවධාරණය වී ඇත්තේ.

එහිදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ වර්ෂ 2023-2030 ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම පිළිබඳව රජයේ ආයතන දැනුවත් කිරීම සඳහා 2025 දී වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වුවද, නොවැම්බර් 27 වැනි බ්‍රහස්පතින්දා ආපදා කළමනාකරණ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කර නොමැති බවයි.

නොවැම්බර් 28 වැනි සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් සැලැස්ම යටතේ කාර්යයන් පවරා ඇති සියලුම දෙපාර්තමේන්තු, අංශ සහ අනෙකුත් නිලධාරීන් අක්‍රිය වූවා. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මඟ හරිමින් ආධාර දීම දේශපාලනීකරණය කිරීම සහ තවත් සමාන්තර ආපදා සහන අරමුදලක් පිහිටුවා ඇති බවද ඔහු පවසා තිබේ.

රජයේ අත්දැකීම් අඩුකම නිසා පාර්ලිමේන්තුව විසින් ආපදා කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ අධීක්ෂණ කමිටුවක් පත් කිරීම අවශ්‍ය වන අතර, එහි සභාපතිත්වය පළපුරුදු මන්ත්‍රීවරයෙකු විසින් දැරිය යුතු බවත් උදාහරණ ලෙස කබීර් හෂීම් වැනි මන්ත්‍රීවරයෙකු නම් කළ හැකි බවත් පවසා ඇති වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ එහි සාමාජිකයින් ලෙස අත්දැකීම් ඇති රජයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමාන සංඛ්‍යාවක් පත් කළ යුතු බවයි.

ව්‍යසනයෙන් පශ්චාත් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත වගකීම් පැවරිය යුතු බවත් ආපදාවේ කෙටි කාලීන සහ දිගු කාලීන ආර්ථික ප්‍රතිවිපාක තක්සේරු කිරීම සඳහා අධීක්ෂණ කමිටු ආර්ථික ඒකකයක් ද පත් කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

එමෙන්ම දිස්ත්‍රික්කවල ප්‍රතිසංස්කරණ කටයුතු රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක විය යුතු බවත් එම කටයුතු වලින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ඉන් ඉවත් කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top