/ Dec 17, 2025

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල් අගමැතිනියට ලියයි!

ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර තිබේ.

”පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් ගංවතුර ගැලීම් හා නායයාම් නිසා රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත හානි මෙන්ම දේපල හානි සිදු විය. ඒ වගේම ජලාශ, ගංගා, වැව් අමුණු, ඇලවේලි ඇතුළු අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂි, ධීවර, කර්මාන්ත, ස්වයංරැකියා, සංචාරක, ආනයන-අපනයන, සේවා සහ ව්‍යාපාර ඇතුලු සියලුම ක්ෂේත්‍රයන්ට අදාළව හානි, බලපෑම් සහ විනාශයන් සිදුවිය. මෙයින් ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයට ද බරපතල හානි සිදුවිය. එය අදටත් නිශ්චිතව ගණනය කළ නොහැකිව ඇත.

මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් අප ඉතා ඉක්මනින් වගකීම් සහගතව මැදිහත් විය යුතුය. දැනටමත් අප ප්‍රායෝගිකව ඒ සඳහා මැදිහත්ව සිටින අතර, ජන ජීවිතය සෑම අංශයකින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව විධිමත්ව මීට වඩා මැදිහත් විය යුතු බවට අපගේ විශ්වාසයයි.

ඒ අනුව, ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන මෙන්, පක්ෂයක් ලෙස අප ඔබතුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා අගමැතිවරියගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top