ආපදාව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සහ තොරතුරු මහජනතාවට සන්නිවේදනය කළේ කෙසේද යන්න විමර්ශනය කිරීම සඳහා තේරීම් කමිටුවක් පත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
රජය බොහෝ පොරොන්දු දී ඇති අතර එම පොරොන්දු ඉටු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගන්නේදැයි බලා සිටින බවත් අවශ්‍ය නම් සම්බන්ධීකරණයට සහාය වීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ශක්තිමත් පරිපාලන ව්‍යුහයක් සහ රජයේ නිලධාරීන් කෙරෙහි විශ්වාසයක් අත්‍යවශ්‍ය බව නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
රජය තමන්ගේම රාජ්‍ය නිලධාරීන් විශ්වාස නොකර තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළහොත් ජනතාව දුක් විඳිනු ඇති බවයි ඔහු පවසන්නේ.
මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය සහ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිකම නිසා බවද හෙතෙම කියා සිටියි.
පේරාදෙණියේ ගැටඹේ විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අදහස් දක්වමින් රාජපක්ෂ මහතා පැවසුවේ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වලට සහාය වීම සඳහා ගම් මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන් උපරිමයෙන් කටයුතු කරන නමුත් රාජ්‍ය ආයතන අතර සන්නිවේදනයේ හිඩැස් නිසා ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් කරන බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය දෙසැම්බර් 16 වන දින පාසල් නැවත විවෘත කිරීමට සූදානම් වන අතර, අවතැන් වූ පවුල් රාශියක් තවමත් පාසල් ගොඩනැගිලිවල නවාතැන් ගෙන සිටින බව ඔහු පෙන්වාදෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අනාරක්ෂිත නිවාස ඉවත් කරන ලෙස ජනතාවට උපදෙස් දෙන අතරම අවතැන් වූ පුද්ගලයින්ට නැවත පාසැල් විවෘත කිරීම සඳහා පාසල්වලින් ඉවත් වන ලෙස ඉල්ලා සිටින බවත් මෙම තත්ත්වය පරස්පර විරෝධී සහ දුර්වල සම්බන්ධීකරණයක් ලෙසත් නාමල් රාජපක්ෂය කියාසිටියි.
පාර්ලිමේන්තුව ඉක්මණින් නැවත කැඳවීමෙන් රජයට මහජනතාව මුහුණ දෙන ගැටළු වඩා හොඳින් තේරුම් ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට හැකි වන බවත් නාමල් රාජපක්ෂ තවදුරටත් පවසයි.





