දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ පසුගිය දින කිහිපය තුළ බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වර්ෂාවක් ලැබීම හේතුවෙන් මෙම නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බවයි.
ඊයේ (11) දිනය තුළ මීගහකිවුල, දෙමෝදර යන ප්‍රදේශවල නායයෑම් සිදුවීම් වාර්තා වූ අතර යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් අදාළ භූමියන්ගේ පවතින බැවින් කාලගුණ අනාවැකි සැලකිල්ලට ගෙන අදියර 2 යටතේ අවදානයෙන් සිටින ලෙස දන්වා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමද දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 38කට එලෙසින්ම ක්‍රියාත්මක කර ඇති බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.
මීට අමතරව අදියර 1 යටතේ විමසිලිමත් වෙන ලෙස දන්වා නිකුත් කළ නායයෑම් නිවේදනය දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට තවදුරටත් ක්‍රියාත්මකයි.
ලැබෙන වර්ෂාපතනය සමඟ මෙම නිවේදන වෙනස් විය හැකි බැවින් අදාළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තවදුරටත් ඉල්ලා සිටින්නේ.
පසුගිය නොවැම්බර් මස 20 වන දින සිට අද (12) දක්වා වූ කාලය තුළ අනතුරුදායක ඉල්ලීම් පරීක්ෂා කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙත ඉල්ලීම් 2,716ක් ලැබී ඇති අතර, එයින් 589ක් මේ වනවිට නිමකර ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.





