කොළඹ විශ්වවිද්‍යාලයේ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් (මුදල් අය කරනු ලබන) වෙනුවෙන් ලියාපදිංචි වී එම පාඨමාලාව හැදරූ සිසු පිරිසකට සිදු වුණ බලවත් අයුක්තියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
2022/2023 ව්‍යවසායකත්ව සහ කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසුන්ගේ අවසන් පරීක්ෂණයේදී එම පාඨමාලාවේ එක්තරා ආචාර්යවරියක විසින් එම විෂයන් සඳහා ලබා දුන් මාර්ගෝපදේශ හිතුමතයේ වෙනස් කරමින් ලකුණු ලබා දුන් ආකාරය නිසා තමන්ට අසාධාරණයක් සිදු වූ බව සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාලය පාලනාධිකාරියට දැනුම් දී තිබේ. එසේ දැනුම් දී වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් මේ ගැන යුක්තියක් ඉටු කිරීමට කොළඹ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අසමත් වී ඇත.

මෙම ප්‍රශ්නගත සිදුවීමට සම්බන්ධ ආචාර්යවරිය ඇගේ පෞද්ගලික බැංකු ගිණුමට ඇතැම් සිසුන්ගේ මුදල් බැර කරවා ගැනීම වැනි අකටයුතු ප්‍රමාණයක් සාක්ෂි සහිතව සිසුන් හෙළිදරව් කර පාලනාධිකාරියට දැනුම් දීම නිසා එයට පලිගැනීමක් ලෙස ඇතැම් සිසුන් මෙහෙයුම් කළමනාකරණ විෂයෙන් අසමත් කිරීමට ඇය ක්‍රියාකර තිබුණි. ලකුණු ලබා දීම සඳහා වන මාර්ගෝපදේශ ඇය උල්ලංඝනය කර තිබුණේ ඇයට එදිරිව පැමිණිලි කළ සිසුන්ගෙන් පළි ගැනීමටයි.
තම හිතවත් සිසුන්ට විභාග ප්‍රශ්න හෙළිකර අක්‍රමිකතාවන් සිදු කරන බවට වන බලවත් චෝදනාවක්ද ඒ අතර තිබේ.
උක්ත පාඨමාලාවේ සිසුන්ගේ අවසන් පරීක්ෂණයේදී සියලු සිසුන් විභාගය අවසන් කර උත්තර පත්‍ර ආචාර්යවරිය වෙත භාර දුන්නද එක් සිසුවෙකු සිය උත්තර පත්‍රය ගෙදර ගෙන ගිය බවත් පසු දින එය නැවත ඇය වෙත භාර දුන් බවත් පැවසේ. සාමාන්‍යයෙන් උත්තර පත්‍ර භාර දුන් පසු උත්තර පත්‍ර පැකැට්ටුව මුද්‍රා තබන අතර ඒවා යළි විවෘත කරන්නේ උත්තර පත්‍ර පරීක්ෂාවේදීය. පසුව හෙළි වූයේ උත්තර පත්‍රය ගෙදර ගෙන ගිය සුවිශේෂී සිසුවා අදාළ පරීක්ෂණය මහ ඉහළින් සමත්ව ඇති බවයි.
මෙම පාඨමාලාවේම තවත් ආචාර්යවරයෙක් කණ්ඩායම් ව්‍යාපෘතියක් සඳහා පොත් බෙදාදීමකට රුපියල් 3500ක් බැගින් සිසුන්ගෙන් අයකර සිදු කළ කටයුත්තකදීද අයුක්තිසහගත ලෙස ක්‍රියා කිරීමක් ගැන ද වාර්තා විය.
උක්ත ආචාර්යවරිය සහ ආචාර්යවරයාගේ ක්‍රියා කලාපය සිසුන් විශ්වවිද්‍යාල කොමිසම වෙත පැමිණිලි කළ අතර එහිදී කොමිසම නියම කළේ වහාම පරීක්ෂණයක් පවත්වා මේ ගැන තමන්ට වාර්තා කරන ලෙසයි. වසරකට ආසන්න කාලයක් ගෙවී ඇතත් සිදුවූ පරීක්ෂණයක් නැත. තම නියමයට අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා කටයුතු නොකරන බව නිරීක්ෂණය කළ ප්‍රතිපාදන කොමිසම සිහිකැඳවීමක්ද කර තිබුණි. එහිදී විශ්වවිද්‍යාලය දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් එය අවසන් පසු දැනුම් දෙන බවත් ය.
වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් සිදුවූ කිසිවක් නැත. නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ ය. මෙරට බොහෝ තැන්වල තවමත් යුක්තියට වඩා රජ කරන්නේ අයුක්තියයි. ලක්ෂ ගණනින් මුදල් ගෙවූ සිසුන්ට දැන් සිදුව ඇත්තේ උඩබලාගෙන සිටීමටයි.
මෙම සිදුවීම ආශ්‍රයෙන් පැන නගින ගැටලු කීපයක් තිබේ.
සිසුන්ට සාධාරණයක් ඉටු කිරීම පසෙකලා විනය පරීක්ෂණයක් කැඳවීමට පියවර ගැනීම යන දෙකෙන් වඩා ප්‍රමුඛ කුමක්ද?
වසරක් තිස්සේ හුදු සිදුවීම් දෙකක් ගැන විමර්ශනයක් පැවැත්වීමට අසමත්වීම කොළඹ විශ්වවිද්‍යාලයේ අකාර්යක්ෂ්මතාව කියාපාන්නක් නොවේද?
මුදල් ගෙවා හදාරන අධ්‍යාපන පාඨමාලාවලට මෙලෙස කුඩම්මාගේ සැලකිලි ලබා දෙන්නේ කුමක් නිසා ද?
කොළඹ සරසවිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වඩා ඉහළින් සිටීද?
සරසවිවල අධ්‍යාපනය සහ විභාග සම්බන්ධ ගුණාත්මක භාවය ගැන මේ වන විට සමාජයේ බරපතළ සාකච්ඡාවක් මතුව තිබේ. මෙලෙස සරසවි විභාග තුට්ටු දෙකට වැටීම ලෝක මට්ටමින් පවා රටට කරන්නේ පාඩුවකි. මෙරට විශ්වවිද්‍යාලවල ගුණාත්මක භාවය පහළට වැටුණු පසු විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලින් අපේ රටේ විශ්වවිද්‍යාලය පල්ලම් බසිනු ඇත. හුදු පුද්ගල ලාභ සඳහා කෙරෙන මෙවැනි කටයුතු ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මතු නොව අධ්‍යාපන බලධාරීන්ද මෙයට වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය.





