කොළඹ මහ නගර සභාවේ අයවැය අද (31) දෙවන වරටත් ඉදිරිපත් කිරීමට නියමිතයි.
නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද 2026 කොළඹ මහ නගර සභාවේ අයවැය ජන්ද දෙකකින් පරාජයට පත් විය.
කෙසේවෙතත් සංශෝධනයකින් තොරවම අද දින එම අයවැය ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.
දේශපාලන ආරංචි මාර්ග අනුව නම් මේ වන විට ජාතික ජන බලවේගය අද දින අවශ්‍ය ජන්ද ප්‍රමාණය තහවුරු කර ගෙන අවසන්.
කෙසේවෙතත් එම අයවැය යෝජනා සම්බන්ධයෙන් විරෝධයක් එල්ල නොවුණු අතර නගර සංවර්ධනය මෙන්ම පුරවැසි සුබසාධනය වෙනුවෙන් අති විශාල මුදලක් වෙක් කර තිබුණු අතර පැවතියේ දේශපාලන ඝට්ටනයක් පමණක් බවට සමාජ කතිකාවක්ද මේ දින දෙක තුනට සිදු විය.
පළමු වර අයවැය පරාජයෙන් පසු විපක්ෂයේ කණ්ඩායම වෙනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මින් ඉදිරියට කොළඹ මහ නගර සභාව පාලනය කරනු ලබන්නේ ඒකාබද්ධ විපක්ෂය විසින් බවයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය වැඩි ජන්ද ප්‍රමාණයක් ලැබුවද ගැටලුවකින් තොරව සභාවේ බලය පිහිටුවීමට අවශ්‍ය බහුතරය නොලැබීම මත රහස් ජන්දයක් මඟින් ජාතික ජන බලවේගය සභාවේ බලය පිහිටුවන ලදී.
කෙසේවෙතත් අයවැය ජන්ද විමසීමේදී අයවැයේ ගුණ අගුණ කොයි හැටි වෙතත් විපක්ෂයේ ඒකායන අරමුණ අයවැය පරාජය කිරීම බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
මෙය බල දේශපාලනයේ ස්වභාවය වන නමුත් එය බහුතර ජනතාවකගේ කැමැත්ත මෙන්ම මහජන සුබසාධනය හා සංවර්ධනය පැත්තෙන් ව්‍යාකූල තත්ත්වයක් ගොඩනගන්නකි.
මෙම සියලු විපරීතයන් මැද අද දෙවන වරටත් කොළඹ මහ නගර සභාවේ අයවැය ඉදිරිපත් කරන පසුබිමක එහි 2010 – 2025 දක්වා වූ කාලය තුළ සිදුව ඇතැයි කියන දූෂණ, අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් එම කොමිසම පිහිටුවා ඇත.
හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු මෙම කොමිසන් සභාවේ සාමාජිකයින් ලෙස පත්කර ඇත.
ඒ අනුව උක්ත කාලය තුළ කොළඹ මහ නගර සභාවේ සිදුව ඇති දුෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධි ලෙස පරිහරණය ආදිය විමර්ශනය කිරීම මෙම කොමිසමට පවරා ඇති අතර රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත්කීරීම්, නීතිවිරෝධී සැලසුම්, නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුකර ඇති අක්‍රමිකතා සොයා බැලීමද කොමිසම මඟින් සිදුකරයි.
මෙම සියලු තත්ත්වයන් මැද අද කොළඹ මහ නගර සභාවට සුවිශේෂී දිනයක් වනු ඇත.





