/ Jan 10, 2026

ලෝක ඉතිහාසයේවත් නැහැ මෙහෙම ආණ්ඩුවක්!

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වසරක් පුරා සිදුකර ඇත්තේ ප්‍රමිතියෙන් තොර කටයුතු බව සමඟි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (09) කොළඹදී පැවති සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

ඖෂධ ගෙන්වීම,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු කාරණා සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතු කර තිබෙන අතර විපක්ෂය විසින් පෙන්වා දෙන ආණ්ඩුවේ වැරදි පිළිගැනීමට හෝ නිහතමානීකමක් ආණ්ඩුවට නොමැති බවද ඔහු සඳහන් කළේය.

”ජාතික ජනබලවේග රජය ගතවුණ වසරක කාලයක තුළ සිදුකර තිබෙන්නේම ප්‍රමිතියෙන් තොර කටයුතු පමණයි. ආණ්ඩුව ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. ඒ වගේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් මොඩියුලත් ප්‍රමිතියෙන් තොර මොඩියුල. කෙසේ නමුත් විපක්ෂය පෙන්වා දෙන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි අවදානයක් යොමු කරන්නේ නැහැ. ඔවුන් ඒවා සමච්චලයට ලක්කරමින් සිටිනවා. ඒ වගේම දිට්වා සුළි කුණාටුවේදී ආණ්ඩුව පූර්ව සුදානම සම්බන්ධයෙන් පියවර නොගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ හේතු කාරණා රටට පැහැදිලි කළා. නමුත් නැවතත් පීඩන අවපාතයක් පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ඒ දැනුම්වත් වීමෙන් පසු කාලගුණයට සම්බන්ධ සියලුම ආයතන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න කටයුතු කර තිබුණා. කෙසේ නමුත් දිට්වා සුළි කුණාටුව පැමිණිමට පෙර සිදුකළ යුතුව තිබු දේවල් මෙවර සිදුකරන්න රජය කටයුතු කර තිබුණා. මෙවර හෝ ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුටට පත් වෙනවා. දේවල් සිදුවුණාට පසුව ඉගෙන ගන්න එක හොඳයි. කෙසේ නමුත් හෙට රටට බරපතල හානියක් ගෙන දෙන කටයුත්තක් වුණොත් එයිනුත් ආණ්ඩුව අත්දැකීම් ලබාගනිවි. ආණ්ඩු ඉගෙන ගෙන පුහුණු වෙලා රට ගොඩගන්න කටයුතු කරනවිට රට බරපතල අර්බුදයට ගොස් තිබෙන්න පුලුවන්. ඒ වගේම ආණ්ඩුවට යම් දේවල් පිළිබදව ඉගෙනගැනීමට අවශ්‍ය කරන නිහතමානිත්වයත් නැහැ. අධ්‍යාපනයටත් සිදුවුණ වැරද්ද භාර ගැනීමට ආණ්ඩුව නිහතමානි නැහැ. නමුත් ලෝක ඉතිහාසයේ ආණ්ඩු මේ ආකාරයට කටයුතු කරලා නැහැ. ඒ වගේම රටේ දරුවන් සම්බන්ධ ප්‍රශ්නවලදී ආණ්ඩුව මීටත් වඩා වගකිමකින් යුතුව කටයුතු කළ යුතුයි.‘‘ යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top