/ Jan 12, 2026

අගමැති ගැන NPP ස්ථාවරය මෙන්න!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂයක් පදනම් කර ගනිමින් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව මේ වන විට විපක්ෂය විසින් සමාජ විරෝධයක් ගොඩනැගීමට උත්සහ දරමින් තිබේ.

ප්‍රධාන විපක්ෂය ලෙස සමඟි ජන බලවේගය කතරගමට ගොස් අගමැතිනියට එරෙහිව පොල් ගැසීමට පවා කටයුතු කළේය.

කෙසේවෙතත් මේ වන විට දේශපාලන කඳවුර අගමැතිනියට පක්ෂ සහ විපක්ෂ ලෙස ප්‍රධාන බෙදීමකට ලක්ව තිබෙන තත්ත්වයක් ඉස්මතුව ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වන සංවාදය වෙනුවට පැහැදිලි ලෙසම අගමැතිවරිය ඉලක්ක කරගත් ප්‍රහාරයක් දියත් වෙමින් තිබෙන පසුබිමක ඇයව ඇයගේ ධූර වලින් ඉවත් කළ යුතු බවට විපක්ෂ කණ්ඩායම ප්‍රකාශ කරමින් ඇත.

කෙසේවෙතත් අගමැතිවරියව ඉවත් කිරීමේ හෝ ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බවට ප්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමින් ජාතික ජන බලවේගයේ ස්ථාවරය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පැහැදිලි ප්‍රකාශයක් කරමින් පවසන්නේ අගමැති ධුරයේ හෝ අධ්‍යාපන ඇමැති ධුරයේ වෙනසක් කිරීමට කිසිදු පදනමක් නැති බවත් ආචාර්ය හරිනි අමරසූරිය එකී ධුරයන්හි කටයුතු කිරීමේදී කිසිදු වරදක් සිදු කර නොමැති බවත්ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන හෙයින් එම පරීක්ෂණ අනුව වරද සිදුව ඇත්තේ කොහේද යන්න අනාවරණය වනු ඇති බවත් ටිල්වින් සිල්වා සඳහන් කරයි. අගමැතිනිය ඉවත් කරනු ඇතැයි කියමින් විපක්ෂය දවල් හීන බව ද ඔහු ප්‍රකාශ කරයි.

දේශපාලනිකව කැපී පෙනෙන චරිතයක් ලෙස අගමැතිවරිය ඉදිරියට පැමිණෙමින් තිබෙන හෙයින් එය විපක්ෂයට අභියෝගයක් නිසා ඔවුන් ඇයව ඉලක්ක කරගනිමින් පහර දෙන බවද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top