වත්මන් රජය සිදු කළ එකම වෙනස වන්නේ අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
රටේ වටිනාම සම්පත වන දරු සම්පත ආරක්ෂා කිරීම, රැකබලා ගැනීම, හොද වර්තමානයක් මෙන්ම අනාගතයක් උදාකරලීම යන සුන්දර බලාපොරොත්තු සෑම දෙමාපියෙකුම රජයෙන් අපේක්ෂා කළද මේ මොහොත වන විට දරුවන්ට ලබා දිය හැකි ලොකුම සම්පත වන කිසිවෙකුට හෝ සොරාගත නොහැකි අධ්‍යාපන අයිතිය උල්ලංඝනය ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
ළමා මනස විකෘති කරන අසභ්‍යකරණයකට අධ්‍යාපන අයිතිය ලක් කර ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනස්කම් තුළින් අපේක්ෂා කරන්නේ ෆින්ලන්තයට, ජපානයට, මැලේෂියාවට, යුරෝපා රටවලට වඩා වැඩි උසස් අධ්‍යාපනයක් අප රටේ දරුවන් ලබා දීම වුවත් අද ක්‍රියාත්මක වන්නේ මනස විකෘති වන අධ්‍යාපනයක් බවද ඔහු කියා සිටියි.
ජනතාව අපේක්ෂා කළ ක්රමයේ වෙනස වූයේ මෙය නොව ශිෂ්ටසම්පන්න රටක් බිහි කිරීම වුවත් අද අධ්‍යාපනය අසභ්‍යකරණය වීම තුළ ජනවරම පවා පාවා දී ඇති බවයි සජිත් ප්‍රේමදාස තවදුරටත් සඳහන් කරන්නේ.
තමා ද විශ්වාස කරන ආකාරයට මේ අධ්‍යාපනය තුළින් දරුවන්ට සාධාරණයක් ඉටු නොවන නිසා STEAM අධ්‍යාපනය කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය ආදී ක්ෂේත්රවලට ප්‍රමුඛස්ථානය ලබා දෙන අධ්‍යාපනයක් ඇති කළ යුතු බවත් හෙතෙම පවසයි.
එසේම ඉතිහාස විෂය ද අනිවාර්ය විෂයක් කර සමබර ලෙස කටයුතු කළ යුතු වුවත් රජය එවැනි දෙයක් සිදු නොකරන බවත් විවිධ මොඩියුල හරහා සුහුරු උපකරණ භාවිතය නිර්දේශ කළත් පාසල් සිසුන්ගෙන් සුහුරු උපකරණ ඇත්තේ අතලොස්සකට බවත් අප රටේ සෑම සිසු දරුවකුටම නියමිත ආරක්ෂිත මෙවලම් සහිත සුහුරු උපකරණ සහ ඒ සදහා ප්‍රවේශය තිබිය යුතු බවත් ඒවා නිසි ආරක්ෂිත ක්‍රමවේද සහිතව අසභ්‍යකරණයකට ලක් නොවී සිදුවිය යුතු බවත් මෙය රජයේ වගකීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් දක්වා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනහමුවක් අමතමිනි.




