/ Jan 16, 2026

මිහින්තලේ වනචාරියා: සම්බුද්ධ ශාසනයට නිග්‍රහයක්!

රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට කළ අපහාසාත්මක ආමන්ත්‍රණය සම්බුද්ධ ශාසනයට සහ චීවරයට සිදු කළ දැවැන්ත අපහාසයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මිහින්තලේ වනචාරියා නමින් මිහින්තලේ රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේව වත්මන් රජයේ කැබිනට් ඇමතිවරයකු විසින් අපහාසාත්මක ලෙස හැඳින්වීම තමා තරයේ හෙළා දකින බවයි ඔහු සඳහන් කරන්නේ.

කැබිනට් අමාත්‍යවරයකු ඒ ආකාරයෙන් ගෞරවනීය මහා සංඝරත්නයට අපහාස කිරීම සම්බුද්ධ ශාසනයට සිදු කළ නින්දාවක් සේම පිළිකුල් ක්‍රියාවක් බවත් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න සිටින මුර දේවතාවන් වන්නේ මේ ගරුතර මහා සංඝ⁣රත්නය බවත් අප ජීවත් වන්නේ ශිෂ්ටසම්පන්න රටක නිසා උන්වහන්සේලාට ගෞරවයෙන් ආමන්ත්‍රණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්මන් රජයේ කැබිනට් ඇමතිවරයකු විසින් මිහින්තලේ රජමහ විහාරයේ නායක ස්වාමීන් වහන්සේට මිහින්තලේ වනචාරියා ලෙස අපහාස කරමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (16) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියේය.

ශිෂ්ටසම්පන්න සුචරිතවත් ජන සමාජයක අප ජීවත් වන මොහොතක රජයේ කැබිනට් අමාත්‍යවරයකු මෙලෙස ගරුතර මහා සංඝරත්නයට අපහාස වන ආකාරයට කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛත්වය පවා උල්ලංඝනය කිරීමක් බවත් බුදුදහමට සුවිශේෂ තැනක් සේම සෙසු ආගම්වලට නිසි තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මොහොතක රජයේ පාලකයන් මැතිඇමතිවරුන් තමතමන්ගේ හැසිරිම් පාලනය කරගත යුතු බවත් හෙතෙම පවසයි.

මතභේදාත්මක අදහස් ප්‍රකාශ කිරීම නිසා මෙවැනි අපහාසාත්මක කතාවක් රජයේ කැබිනට් ඇමතිවරයක් සිදු කිරීම ගැන වහාම සමාව ඉල්ලා සිටිය යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියි.

එසේම කුඩා කල සිටම දහම් අධ්‍යාපනට හුරු පුරුදු වී සිටින නිසා සෑම විටම සමාජයේ මුරදේවතාවුන් ලෙස ගරුතර මහා සංඝරත්නයට සහ ආගමික නායකයන්ට ගරු කිරීම අවශ්‍ය බවත් එය දෙමාපියන්ගෙන්ම මෙන්ම ආගමික ස්ථානවලින් ලැබු ආභාෂයක් බවත් මේ අපහාසය⁣ මහා සංඝරත්නය මෙන්ම පුරවැසියන් ද පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙය රජයේ කැබිනට් අමාත්‍යවරයකු විසින් මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේට, සම්බුද්ධ ශාසනයට සහ චීවරයට සිදු කළ දරුණු නිග්‍රහයක් සහ අපහාසයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top