ආපදාවෙන් පීඩාවට පත් ධීවර ක්ෂේත්‍රය ගොඩනැගීමට වියට්නාම සහය ප්‍රකාශ කර තිබේ.
මෑතදී ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය යළි නගා සිටුවීම සඳහා තාක්ෂණික සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටම් (Ms. Trinh Thi Tam) අතර පවත්වා ඇත.
සාකච්ඡාව ආරම්භයේදී, මෑතකදී බලපෑ Ditwah සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට සහ පොදු ජනතාවට සිදු වූ හානිය පිළිබඳව තානාපතිවරිය වියට්නාම රජයේ බලවත් කණගාටුව පළ කළාය. දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද ඇය මෙහිදී අවධාරණය කළාය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ජිනදාස මහතා, ආපදාවෙන් හානියට පත් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය යළි ගොඩනැගීම සඳහා අවශ්‍ය ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් මව් සතුන් (Broodstock) ලබා ගැනීමට සහය වන ලෙස ඉල්ලීමක් කළේය. ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ තානාපතිවරිය, ලෝක වෙළෙඳපොළේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ විශාල පංගුවකට හිමිකම් කියන වියට්නාමය සතු දියුණු තාක්ෂණික දැනුම සහ සහාය ලබා දීමට එකඟතාව පළ කළාය.
තවද, ඉස්සන් කර්මාන්තයේ ප්‍රගතිය සඳහා SPF මොනෝඩොන් (SPF Monodon) ඉස්සන් අභිජනන තාක්ෂණය (Hatchery techniques) බෙදා හදා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥ සහාය ලබා දීමටත් වියට්නාමය කැමැත්ත පළ කළේය. මෙම තාක්ෂණික හුවමාරුවන් විධිමත් කිරීම සඳහා දෙරට අතර පවතින ධීවර සහයෝගිතා අවබෝධතා ගිවිසුම යාවත්කාලීන කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
රාජ්‍ය මට්ටමේ වැඩසටහන් හරහා වියට්නාම ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන්ම, නෝත් සී (North Sea) ආයතනයට අවශ්‍ය ටොරේ නූල් සහ දැල් (Toray yarn and twines) අතරමැදියන්ගෙන් තොරව සෘජුවම ලබා ගැනීම හරහා නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
වියට්නාමයේ කෘෂිකර්ම සහ පරිසර අමාත්‍යාංශය (Ministry of Agriculture and Environment) සමඟ සම්බන්ධීකරණය කරමින් මෙම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව තානාපතිවරිය වැඩිදුරටත් සහතික වූවාය.




