/ Jan 23, 2026

මැදපෙරදිග නින්ද නැතිකර යුරෝපයටත් හිසේ කැක්කුම හැදූ ට්‍රම්ප් – තීරු බදු තර්ජනය 100% දක්වා ඉදිරියට ගනී!

වෙනිසියුලාව සිය ග්‍රහණයට නතුකර ගැනීමෙන් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඊළඟ ගොදුර බවට පත්ව සිටින්නේ ග්‍රීන්ලන්තයයි.

ඩෙන්මාර්කය යටතේ පාලනය වුවද ඔවුන්ට අනන්‍ය වූ පාලන රාමුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ග්‍රීන්ලන්තය ස්වාධීනව කටයුතු කරමින් හිඳියි.

කෙසේවෙතත් එහි සාමකාමී බව ජනාධිපති ට්‍රම්ප් විසින් උදුරාගෙන තිබෙන ඇමරිකාවේ භූ දේශපාලනික ආරක්ෂාව වෙනුවෙන් හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත්කරගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් පවසයි.

ග්‍රීන්ලන්තයේ පිහිටීම මෙන්ම එහි ඛනිජ සම්පත් කෙරෙහි ඇති ආශක්තභාවය විසින් ඇමරිකානු ජනාධිපතිවරයා සිය බලය ඊට පතුරුවා හැරීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ.

ලෝක පොලිස්කාරයා ලෙස හැසිරෙමින් යුරෝපයම බියවද්දන භූමිකාවට ජනාධිපති ට්‍රම්ප් එළඹ ඇති බව දැන් දැකගත හැකිය.

එක්සත් ජනපදය වෙත ග්‍රීන්ලන්තය අත්පත්කර ගැනීම වෙනුවෙන් සිදුකරන ඉල්ලීමට විරුද්ධ වන යුරෝපීය රටවලට තීරුබදු පැනවීමේ තර්ජනය “100%” අනුගමනය කිරීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කර තිබේ.

චීනය සහ රුසියාව කෙරෙහි ඇල්මක් නොමැති ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ කිසියම් හෝ දිනක චීනය හෝ රුසියාව ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර තමන් ඉස්සර වන බවයි. රුසියාවේ හෝ චීනයේ අසල්වැසියෙක් වීමට ඇමරිකාවට අවශ්‍ය නැති බවයි ජනාධිපති ට්‍ර්මප් පවසන්නේ.

මේ වන විට මැදපෙරදිග කලාපයේ පමණක් නොව යුරෝපයේ නින්දද ජනාධිපති ට්‍රම්ප් විසින් උදුරා ගෙන තිබේ.

ඩීඩොලරීකරණයට මුහුණ දී සිටින ඇමරිකාව ආර්ථික අතින් ශක්තිමත් රුසියාවේ හා චීනයේ නැගීමට යාම භීතියක් ඇති බව පෙනෙන්නට ඇති කාරණයකි.

ජාත්‍යන්තර වෙළෙඳාමේදී රටවල අනන්‍ය මුදල් ඒකකවලින් ගණුදෙනු කිරීමට පෙළඹීමත් සමඟ ඩොලරයේ මඟහරයාම විසින් අහියෝගයට ලක්වන්නේ එක්සත් ජනපදයේ තනි බලයයි. එම තනි බලය ගිලිහීම මෙන්ම වෙනත් බල කලාප වෙත විතැන්වීම දේශපාලනික වශයෙන් එල්ලවන මාරු පහරක් බව එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්ගේ හැසිරීමෙන් පෙන්නුම් කරයි.

එහෙයින් කෙසේහෝ සිය බලය තවදුරටත් ව්‍යාපත් කිරීම මෙන්ම තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මතුවන්නකි. .

ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය වෙනුවෙන් යුරෝපීය රටවල් ඔවුන් සමඟ අත්වැල් බැඳ ගෙන සිටින අතර ඩෙන්මාර්ක විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ එක්සත් ජනපද ජනාධිපතිවරයාට අර්ධ ස්වයං පාලන ඩෙන්මාර්ක භූමියේ හිමිකාරිත්වයට තර්ජනය කළ නොහැකි බවයි.

ග්‍රීන්ලන්තයේ අනාගතය “ග්‍රීන්ලන්ත වැසියන්ට සහ ඩේන්වරුන්ට පමණක්” තීරණය කළ යුතු බවට එක්සත් රාජධානියේ ස්ථාවරය ගැන කියමින් එක්සත් රාජධානියේ විදේශ ලේකම් යෙවෙට් කූපර් නැවත අවධාරණය කළේය.

ජනාධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධව කටයුතු කරන ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා එළඹෙන පෙබරවාරි 1 වන දින සිට 10% ක තීරුබදු අදාළ වන අතර පසුව එය 25% දක්වා ඉහළ යා හැකි බව එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ජුනි 01 වැනිදා සිට එය 25%ක් ලෙස වැඩි කිරීමටද නියමිතයි.

මෙම රටවල් සියල්ලම 1949 දී ආරම්භ කරන ලද ආරක්ෂක සන්ධානයේ නේටෝවේ සාමාජිකයින් වෙයි.

ට්‍රම්ප්ගේ වක්‍ර බලහත්කාරය

ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් පවසා තිබුණේ යුරෝපය, රුසියාව සහ යුක්රේනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. මේ වන විට යුක්රේනයට සිදුව ඇති තත්ත්වය දෙස බලන විට යුරෝපය සැලකිලිමත්විය යුත්තේ ග්‍රීන්ලන්තය ගැන නොවන බව ඔහු පෙන්වා දී තිබේ. ඒ අනුව ජනාධිපති ට්‍රම්ප්ගේ වක්‍ර බලහත්කාරය මානව පෙන්නුම් කරයි.

කෙසේවෙතත් ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් එක්සත් ජනපද මිලිටරි ක්‍රියාමාර්ග ගතහොත් එය නේටෝවේ අවසානය සනිටුහන් කරන්නක් බවට ඩෙන්මාර්කය අනතුරු අඟවා තිබේ. මෑත දිනවල, ග්‍රීන්ලන්තයට සන්ධානයේ යුරෝපීය සාමාජිකයින්ගෙන් සහාය ලැබී ඇති අතර සමහරු පසුගිය සතියේ ග්‍රීන්ලන්තයට හමුදා ඛණ්ඩ අතලොස්සක් පවා යවා ඇත. එය සංකේතාත්මක පියවරක් ලෙස දක්වා තිබේ.

එවැනි පසුබිමකත් එක්සත් ජනපද ජනාධිපතිවරයා තීරු බදු පැනවීම හරහා ඔහුගේ ආස්ථානය මැනවින් පිළිඹිඹු කරයි.

ට්‍රම්ප්ගේ මෙම බලහත්කාරයට මැදිහත්වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය එළඹෙන 22 වැනි දින සකච්ජාවක්ද කැඳවා තිබේ.

නොර්වේ රාජ්‍යයද මෙම ප්‍රශ්නයේදී ඩෙන්මාර්ක රාජ්‍යයට සිය සහය පළකර ඇත.

මේ අතර, උතුරු ඇමරිකානු අභ්‍යවකාශ ආරක්ෂක විධානය (නොරාඩ්) සඳුදා නිවේදනය කළේ ගුවන් යානා කිහිපයක් ග්‍රීන්ලන්තයේ පිටියුෆික් අභ්‍යවකාශ කඳවුරට යන බවයි.

පවතින තත්ත්වය ආණූආ ජනධිපති ට්‍රම්ප්ගේ හැසිරීම විසින් ලොව කැළඹීමකට මෙන්ම කම්පනයකට පත්කර තිබෙන අතර ජනාධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඉදිරියේදී නිශ්චිතව ගනු ලබන තීරණය අනුව ලොව පැහැදිලි බෙදුම් රේඛාවක් නිර්මාණය වීමටද ඉඩ ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top