/ Jan 23, 2026

වාචාලකමටත් සීමාවක් තියෙන්න ඕනේ!

ජනවාරිය ආරම්භයේ පටන්ම ලෝක දේශපාලනය මතභේදාත්මක තත්ත්වයකට යොමු වූයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේ හැසිරීමත් සමඟය. සාර්ථක හමුදා ප්‍රහාරයකින් පසු වෙනිසියුලාව සිය අණසකට යටත් කර ගැනීමෙන් පසු ලතින් ඇමරිකාවට පීඩනයට මුදාහරිමින් අනෙක් පසින් යුරෝපය දෙසටද සිය බලය පෙන්වීමට දැඩි උත්සහයක් ගනු ලැබීය.

ඒ, ග්‍රීන්ලන්තය කෙරෙහි ජනාධිපති ට්‍රම්ප් සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් එය හොඳින් හෝ නරකින් එක්සත් ජනපදයට ඈදාගන්නා බව කියමිනි.

ට්‍රම්ප් කොහොමත් කියවන්න දක්ෂයෙකි. හතරවටේට තග දාන්න ඊටත් වඩා දක්ෂයෙකි. ලොව ආර්ථික බලසම්පන්නභාවය බෙදෙමින් පවතින තත්ත්වයක ලෝක පොලිස්කාරයාට නහුතයකට මල පැනීම එක අතකින් අරුමයක්ද නොවේ.

ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට පවරා ගැනීමේ සැලසුමට යුරෝපයෙන් එල්ල වුණු විරෝධය හමුවේ ට්‍රම්ප් හිතුවට වඩා වැඩේ සංකීර්ණ වීමත් ලෝක දේශපාලනය තුළ ට්‍රම්ප් විරෝධයක් නිර්මාණය වීමත් සමඟ ජනාධිපති ට්‍ර්ම්ප් මේ වන විට අඩියක් පස්සට තබා තිබේ.

ඒ, ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට පවරා ගැනීමේ සැලැස්මට එරෙහි වූ යුරෝපීය රටවලට පෙබරවාරි 01 වැනිදා සිට ඔහු විසින් පනවා තිබූ 10%ක තීරූ බද්ද ක්‍රියාත්මක වීම අත්හිටුවමින්ය.

ජනාධිපති ට්‍රම්ප්ගේ මුල් සැලැස්මට අනුව තමන්ගේ න්‍යාය පත්‍රයට එකඟ නොවන්නේ නම් ජුනි වන විට අදාළ තීරු බද්ද 25%ක් දක්වා වැඩි කිරීමටත් අවශ්‍ය නම් 100%ක් දක්වා තීරු බද්ද පැනවිය හැකි බවටත් වූ තර්ජනාත්මක තීරණයක පසුවිය.

ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය වෙනුවෙන් යුරෝපීය රටවල් ඔවුන් සමඟ අත්වැල් බැඳ ගෙන සිටින අතර ඩෙන්මාර්ක විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ එක්සත් ජනපද ජනාධිපතිවරයාට අර්ධ ස්වයං පාලන ඩෙන්මාර්ක භූමියේ හිමිකාරිත්වයට තර්ජනය කළ නොහැකි බවයි.

ග්‍රීන්ලන්තයේ අනාගතය “ග්‍රීන්ලන්ත වැසියන්ට සහ ඩේන්වරුන්ට පමණක්” තීරණය කළ යුතු බවට එක්සත් රාජධානියේ ස්ථාවරය ගැන කියමින් එක්සත් රාජධානියේ විදේශ ලේකම් යෙවෙට් කූපර් නැවත අවධාරණය කළේය.

ට්‍රම්ප්ගේ තීරණ සමඟ නේටෝ පැවැත්ම පවා අර්බුදයට ලකුණු පෙනෙන්නට තිබුණු අතර එකී සන්ධානය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්ද යුරෝපය එකතු වෙන ආකාර ය පෙනෙන්නට තිබුණි.

උක්ත තීරු බද්ද ක්‍රියාත්මක වීම අත්හිටුවීමට නේටෝ මහලේකම් මාර්ක් රූටි සමඟ පැවති සාකච්ඡා බලපෑ බව ජනාධිපති ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා තිබුණි. එම සාකච්ජාව ඉතා ඵලදායී වූ බවයි ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණේ. ඒ අනුව ග්‍රීන්ලන්තය සහ සමස්ත ආක්ටික් කලාපය සම්බන්ධයෙන් අනාගත සැලසුමක් සකස් කර ඇති බවත් ජනාධිපති ට්‍රම්ප් පවසයි. එහෙත් එය කුමක්ද යන්න තවදුරටත් හෙළිදරව් කර නොමැති අතර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ ඩෙන්මාර්කය ග්‍රීන්ලන්තයේ කුඩා ප්‍රදේශ කෙරෙහි ස්වෛරීභාවය අත්හැරීමේ සූදානමක් පවතින අතර එහිදී එක්සත් ජනපදය හමුදා කඳවුරු ඉදිකරනු ඇති බවයි. එවිට එක්සත් රාජධානිය සයිප්‍රසයේ ස්වෛරී කඳවුරු පවත්වාගෙන යන විධිවිධානයට සමානව එක්සත් ජනපදයට ග්‍රීන්ලන්තය තුළ හමුදා කඳවුරු පවත්වාගෙන යමේ අවකාශය හිමි වෙයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ඇමරිකානු රජය නිල ප්‍රකාශයක් නිකුත් කර නැත.

කෙසේවෙතත් රුසියාව සහ චීනයද ග්‍රීන්ලන්තයට අතපෙවීමක් නොවන තැනට මැදිහත්වීමටද වගබලාගන්නා බවට නේටෝව සහතික වී ඇති බව සඳහන්.

මෙම පසුබිම මත ට්‍රම්ප් සිය බලහත්කාරය යම්තරමකට හකුළා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. එහෙත් ඕනෑම අවස්ථාවකට්‍රම්ප්ගේ මේ නින්ද වෙනස්විය හැකිය. මන්ද ට්‍රම්ප්ගේ ස්වභාවය අනුව ඔහු පහසුවෙන් ග්‍රීන්ලන්ත සිහිනයෙන් අවදිවෙනු ඇතැයි සිතිය නොහැකි හෙයිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top