/ Jan 24, 2026

තුරුම්පු වතුරේ යයි : ගිනි කන මිලට බෙහෙත් වික්ක ආසිරි රෝහලට වැඩ වරදින ලකුණු!

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක් වූ ආසිරි පෞද්ගලික රෝහල විසින් නියමිත මිලට වඩා ඉතා වැඩි මිලකට නේවාසික රෝගියෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් එම රෝහලට එරෙහිව අගතියට පත්වූ පාර්ශවය පැවරූ නඩුව ජනවාරි මස 21 වැනි දින කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර පාර්ශවය විසින් පළ කරනු ලැබූ මූලික විරෝධතා ඉවත දැමූ මහේස්ත්‍රාත්වරිය චෝදනාවන් කියවා දීම සඳහා ආසිරි පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවන ලෙස නියම කරනු ලැබුවා ය.

විත්තිකාර ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන් සහ සේවකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික විරෝධතා පළ කරමින් කියා සිටියේ වැඩිමිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව සහ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටයි. මහේස්ත්‍රාත්වරිය එම විරෝධතා ප්‍රතික්ෂේප කර දැමුවාය.

මෙම නඩුවට අදාළව ම විත්තිකරුවන් විසින් ස්ථිර මහේස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ගොස් ඇති මොහොතක වැඩබලන මහේස්ත්‍රාත්වරියක ලබා නඩුව කැඳවාගෙන රුපියල් 25000ක දඩයක් ගෙවා නඩුව අවසන් කරගෙන තිබුණු අතර අගතියට පත් පාර්ශ්වයේ සනත් අතුකෝරල මහත් විසින්  මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගත බවට කළ පැමිණිල්ලකට අනුව මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නඩු කටයුතු මුලසිට යළි ආරම්භ කරනු ලැබුවාය. ඒ වැඩබලන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ හිමාලි ඒකනායකගේ තීන්දුව දෝෂසහගත බව තීරණය කරමිනි.

මෙම අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊට එරෙහිව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව කාලාවරෝධයට හසුව නොමැති හෙයින් විත්තියේ මුලික විරෝධතාවය ඉවත දමා විත්තිකරුවන්ට චෝදනා කියවා දීමට පියවර ගන්නැයි ඉල්ලා සිටියාය.

සිද්ධියෙන් අගතියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ මහතාද කරුණු දක්වමින් නඩුව කැඳවීමට නියමිතව තිබු දිනටත් කළින් ඉතා හදිසියේ උසාවියට පැමිණ වරද පිළිගෙන නඩුව අවසන් කර ගැනීමට කටයුතු කළ විත්තිකරුවන්ට දැන් සිය ස්ථාවරය වෙනස් කිරීමට හැකියාවක් නැතැයිද අධිකරණ බලය පිළිබඳ විරෝධතාවයක් ඇත්නම් මුලින්ම එය ඉදිරිපත් කළ යුතු බවත් ප්‍රතිබන්ධන නීතීය අනුව මුල් ස්ථාවරය සමඟ පසු ස්ථාවරය බන්ධනය වන බවත් පෙන්වා දුන්නේය.

මුලින් හදිසියේ නඩුව අවසන් කර ගැනීමට උත්සහ කළ විත්තිකරුවන් දැන් විවිධ තර්ක ඉදිරිපත් කරමින් නඩුව ඇඳගෙන යෑමට උත්සහ කරන බවක් පෙනෙන්නට ඇතැයිද පැමිණිල්ලේ නීතිඥවරයා කරුණු දැක්වීය.

ඉදිරිපත් වු සියළු කරුණු මෙන්ම ලිඛිත දේශනද සළකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධක්‍ෂවරුන් වෙනුවෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කරන බව දැනුම් දුන්නාය.

පැමිණීල්ල වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ආහාර හා ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර මහතා සමඟ පෙනී සිටි එම අධිකාරියේ නීතී නිලධාරී නීතීඥ උදේශිකා ලක්‍ෂානි මහත්මිය කරුණු දක්වමින් විත්තියේ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කර ඇති හෙයින් චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

ඉල්ලීම පිළිගනිමින් චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය නඩුව කැඳවීමටද නියම කළාය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නඩුවේ පැමිණිලි පාර්ශවයේ කටයුතු කරන සනත් කුමාර අතුකෝරල මහතාගේ මව වන සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මිය 2023 වසරේ නාරාහේන්පිට ආසිරි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නියම කර ඇති මිලට වඩා ඉතා ඉහළ ගණන්වලට ඖෂධ ඇය වෙත අලෙවි කර තිබිණි. මේ සම්බන්ධයෙන් දැනගත් සනත් කුමාර අතුකෝරල මහතා විසින් ආසිරි රෝහලට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට තීරණය කරනු ලැබ තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top