/ Jan 24, 2026

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් වෙයි. ද්වේශ සහගත ක්‍රියාවක් බවටත් චෝදනා!

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න වැඩතහනමකට ලක්ව තිබේ.

ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක වන අතර ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත එම තීරණය ගෙන ඇත.

2023 සැප්තැම්බර් 15දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම ධුරයේ රාජකාරි කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක්ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා එක්සත් රාජධානියේ බකින්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු ද වන ඔහු 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යාවජීව සාමාජිකයෙකු මෙන්ම 2016 වසරේ සිට නීතීඥ සංගමයේ කවුන්සිලයේ සාමාජිකයෙකු ද ලෙස කටයුතු කරයි.

ඔහු 20 වසරකට වැඩි වෘත්තිය ජීවිතය තුළ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුළු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක කටයුතු කර ඇත.

නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ “මූලික පරීක්ෂණය” ව්‍යවස්ථාපිත නීතිය සහ ස්ථාපිත පරිපාලන රීතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවටද මත පළව ඇත.

මෙම ක්‍රියාවලිය හුදු පරිපාලනමය පියවරක් නොව, ද්වේශ සහගත චේතනාවෙන් සහ බලය අයුතු ලෙස භාවිතා කරමින් සිදු කරන්නක් බවට පවතින සාක්ෂි මගින් තහවුරු වී ඇති බවත් කතානායකවරයාගේ පෞද්ගලික කාරණයක් නියෝජ්‍ය මහලේකම් විසින් හෙළිදරව් කර ඇතැයි යන සැකය මත ඔහුට එරෙහිව මෙවැනි පියවරක් ගෙන ඇති බවට කියවෙයි.

කෙසේවුවද සිය වැඩ තහනමට එරෙහිව නියෝජ්‍ය මහලේකම්වරයා නීතිය හමුවට යාමට තීන්දුකර ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top