පිළිකා ඖෂධ 40ක හිඟයක් පැවතීම සහ ලියාපදිංචි කර නොමැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් භාර දී තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
එහිදී අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ පිළිකා රෝහල තුළ පමණක්, පිළිකා ඖෂධ කාණ්ඩ 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රමාණවත් තරම් තොග නොමැති වීම නිසා එම ඖෂධ අධික මිල ගණන් යටතේ බාහිරින් මිල දී ගැනීමට සිදුව ඇති බවයි.
එසේ මිලදී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පවතින බවද ඔහු සඳහන් කරන ලදී.
මේ අතර ලියාපදිංචි නොකළ ඖෂධ ද පවතින බව ඔහු පවසුවේය.





