/ Feb 06, 2026

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව විශේෂ අවදානයක් යොමු කර මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

ඒ අනුව, සමාජ මාධ්‍ය වේදිකාවලින් ළමුන් ආරක්ෂා කර ගැනීමට විධිවිධාන සැපයීම සඳහා, වයස සහතික කිරීම සහ දෙමාපිය අවසර පිළිබඳව ආරක්ෂණ පියවර හඳුන්වා දීම සඳහා, වේදිකා සැපයුම්කරුවන් මත ළමා ආරක්ෂණයට අදාල කාර්යය පැනවීම් සඳහා, ළමා ආරක්ෂණ අවදානම් තක්සේරු කිරීම් පෞද්ගලිකව ආරක්ෂණය සහ ළමුන් ඉලක්කගත වෙළඳ දැන්වීම් කෙරෙහි සීමා කරණයන්ට අදාල විධිවිධානයන් සැපයීම සඳහා, ඒ ආශ්‍රිත කරුණු පදනම් කරගෙන 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සඳහා වූ පනත සංශෝධනය කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”ලෝකයේ රටවල් ගණනාවන් වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය හරහා සිදුවන හානිය අවම කිරීමට අවශ්‍ය නීති හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ තවමත් එවැනි නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අනුව මේ සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව තුළ මේ වනවිට තිබිය යුතු නීතියක් වුවත් තවමත් එම නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. මේ පනත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මෙම පනත හරහා රටේ දරුවන් ආරක්ෂා කරගන්නයි අපගේ බලාපොරොත්තුව. ඒ අනුව මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩුව අවස්ථාව ලබාදේවි යැයි සමගි ජනබලවේගය විශ්වාස කරනවා. ඒ වගේම මෙම පනත යම් යම් සංශෝධවල ලක්කර , මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර හැකි ඉක්මනින් පාර්ලිමේන්තු පනතක් ලෙස මෙය සම්මත කර රටේ දරු පරපුර ආරක්ෂා කර ගන්න කටයුතු කර ගනිමු. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා විශාල විකෘතියක් දරුවන් තුළ ඇති වී තිබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා දරුවන්ට නොයෙකුත් අකටයුතුකම්වලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. මේ හරහා විනාශ වෙන්නේ රටේ දරුවන්නේ අනාගතයයි. ඒ අනුව මෙය නීතියක් බවට පත්කර රටේ දරුවන් ආරක්ෂා කරගැනීම සිදුකළ යුතුයි.” යනුවෙන් අවධාරණය කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top