/ Feb 06, 2026

මුතුරාජවෙලට විශේෂ අධිකාරියක් ගේන්න – කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්!

මුතුරාජවෙල තෙත්බිම් කලාපය ආරක්ෂා කිරීමට විශේෂ අධිකාරියක් අවශ්‍යය බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කළහ.

මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ දිනෙන් දින සිදුවෙමින් පවතින අනවසර ඉදිකිරීම් සහ එම කලාපය රැකගැනීම පිළිබඳව ඊයේ (05) අගරදගුරු මැදුරේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ කියා සිටියේ මුතුරාජවෙල පාරිසරික පද්ධතිය විනාශ කරමින් සිදුකෙරෙන අනවසර ගොඩකිරීම් වහාම නතර කළ යුතු අතර නීතිය ක්‍රියාත්මක කිරීමේදී ධනවතුන්, දේශපාලන බලවතුන් හෝ පූජ්‍ය පක්ෂය ලෙස වෙනසක් නොවිය යුතු බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වභාවික ජලය බැසයාමේ ක්‍රමවේදය මුතුරාජවෙල තෙත්බිම් හරහා නිර්මාණය වී ඇති බැවින් එහි තවදුරටත් අනවසර ඉදිකිරීම් සිදුවීම තුළ ඉදිරියේදී යළිත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ මහා ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බව ද අගරදගුරු හිමයෝ මෙහිදී අවධාරණය කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගරදගුරු හිමිපාණෝ,

”මුතුරාජවෙල මහා පරිමාණයෙන් ගොඩකිරීම් කරන ස්ථාන රැසක් හඳුනාගෙන තිබෙනවා. කොයිතරම් උසාවි නියෝග අන පණත් තිබුනත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පසුගිය නිදහස් දින උත්සවයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි නීතියේ ආධිපත්‍යය සැමට සමානව බලපැවැත්විය යුතුයි. මුතුරාජවෙල කියන්නේ දේශපාලනඥයන්ට හෝ නාගරික සංවර්ධන අධිකාරියට (UDA) අයිති පෞද්ගලික දේපළක් නෙවෙයි. මහජනතාව සතු පොදු උරුමයක්. මේ වෙන කොට ගංගා දෙකක් ඔස්සේ ගලා එන ප්ලාස්ටික් බෝතල් සහ අපද්‍රව්‍ය හේතුවෙන් මීගමුව කලපුව දැඩි ලෙස දූෂණය වෙලා. මේ පාරිසරික දූෂණය නිසා කලපුවේ ඉස්සන් සහ කකුළුවන් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටිලා. ඒක ධීවර ජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. කලපුවේ එකතු වී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය ඩ්‍රජර් (Dredgers) යන්ත්‍ර ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකව ඉල්ලීමක් කළා.

මුතුරාවෙල ගොඩකිරීම අත්හිටුවමින් අධිකරණ නියෝග සහ කමිටු නිර්දේශ පවතිද්දීත්, ඇතැම් පාර්ශවයන් රහසිගතව ඉඩම් ගොඩකිරීම් දිගටම සිදු කරනවා. පරිසරය ආරක්ෂා කිරීම ප්‍රධාන නීතිය විය යුතුයි. නිදහස් වෙළඳ ආර්ථිකය තුළ වර්ධනය වී ඇති බලයට සහ ධනයට ඇති ගිජුකම නිසා රටේ සදාචාරාත්මක වටිනාකම් පිරිහිලා. මුතුරාජවෙල ආරක්ෂා කර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියටත් වඩා ඉහළින් බලය ක්‍රියාත්මක කළ හැකි විශේෂ සංස්ථාවක් හෝ අධිකාරියක් පිහිටුවන්න කියලා රජයෙන් ඉල්ලනවා. මෙම නව ආයතනයට ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් සහ ආගමික නායකයන් ඇතුළත් විය යුතු අතර, එහි අනුමැතියකින් තොරව කිසිම ඉඩම් ගොඩකිරීමක් කළ නොහැකි වන පරිදි නීතිමය පදනමක් සකස් කළ යුතුයි.

පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ පරිසර ආරක්ෂක අධිකාරිය මීට වඩා සංවේදීව සහ සෝදිසියෙන් කටයුතු කළ යුතුයි. 1979 වසරේ සිට ආරම්භ වූ අක්කර 400ක වැලි ගොඩකිරීම් සහ මෑතකදී පුද්ගලික ආයෝජකයන් විසින් හෝටල් සහ ගොල්ෆ් පිටි ඉදිකිරීම සඳහා තවත් අක්කර 400ක් ගොඩකිරීමට දැරූ උත්සාහයෙන් මෙම විනාශය උග්‍ර වෙලා තිබෙනවා. පරිසර පද්ධතිය පිළිබඳ නිසි අධ්‍යයනයකින් තොරව සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිත් මෙම තත්ත්වයට වගකිව යුතුයි. මේ නිසා ඉතිහාසයේ කිසිදා නොවූ අයුරින් ගම්පහ නගරය මෑතකදී දෙවතාවක්ම අඩි 3ක් පමණ ජලයෙන් යටවුණා. මුතුරාජවෙල පද්ධතියේ ස්වභාවික පැවැත්ම ආරක්ෂා කර ගැනීම රජයේ සහ අදාළ සියලුම ආයතනවල වගකීමයි. මේ විනාශය නතර නොකළොත්, සෑම වසරකම නිරිතදිග මෝසම් වැසි සමඟ මහා විනාශයන් සිදුවිය හැකියි” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top