/ Feb 07, 2026

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන්ට සිදුවන වාචික හිංසනයට සහ අපහාසයන්ට එරෙහිව යෝජනාවක්!

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඉලක්ක කර වාචික හිංසනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් මෑත කාලයේ නිරීක්ෂණය වී ඇති හෙයින් මෙම ප්‍රකාශවල පවතින අභියෝගය හුදෙක් පුද්ගලයන් ඉලක්ක කරගත් එකක් නොවන බව එහි සඳහන් වෙයි.

මෙය ජනතාවගේ ස්වාධිපත්‍ය බලයටද, කාන්තාවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ දේශපාලනයට සම්බන්ධ වීමට ඇති අයිතියටද එරෙහි අභියෝගයක් බව සංසදය අවධාරණය කරන අතර සමස්ථයක් වශයෙන් සමාජය තුළ දේශපාලනයෙහි කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයටද මෙමගින් ඍණාත්මක පූර්වාදර්ශයක් සැපයන බවට එහි වැඩිදුරටත් සඳහන්ය.

එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් යන දෙපාර්ශ්වයම විසින් සිදු කරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ සිදු නොකළ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර තිබේ.

එය ස්ථාවර නියෝග යටතේ වන “පාර්ලිමේන්තුව තුළ විනය” කොටස හරහා ක්‍රියාත්මක කළ හැකි බවද යෝජනාවේ සඳහන්ය.

ඒ අනුව අදාළ කරුණු සලකාබලා ඒ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි නව ස්ථාවර නියෝගයක් අන්තර්ගත කිරීමෙන් ස්ථාවර නියෝග සංශෝධනය කරන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top