/ Feb 12, 2026

අමරකීර්ති ඝාතනයේ නඩු තීන්දුව: සභාපති විනිසුරුගෙන් බෙදුණු නඩු තීන්දුවක්!

2022 අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ තීන්දුව ඊයේ (11) ප්‍රකාශයට පත් වූ අතර ඒ, සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.

එහිදී විත්තිකරුවන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය.

තවත් විත්තිකරුවන් 4 දෙනෙකුට අවුරුදු පහකට අත්හිටුවූ මාස 5ක සිරදඬුවම් නියම කෙරුණු අතර එසේම එම විත්තිකරුවන් සිව්දෙනාට, ඝාතනය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ බිරිඳ වන මාලී අතුකෝරළට සහ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ සැරයෙන් ජයන්ත ගුණවර්ධනගේ බිරිඳ වන අනූෂා ඉන්දිකා ගුණවර්ධනට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමට නියම කෙරුණු අතර එම වන්දි මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් අමතර වසර දෙක බැගින් ලිහිල් වැඩ සහිත සිරදඬුවම් ද නියම විය.

සෙසු විත්තිකරුවන් 25 දෙනා නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කර තිබිණි.

මෙම නඩු තීන්දුව බෙදුනු නඩු තීන්දුවක් වූ අතර එහිදී සුළුතර තීන්දුව වශයෙන් සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා තීන්දු කර තිබුණේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ලට නොහැකි වී ඇති හෙයින් සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීමටය.

නමුත් රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන විනිසුරුවරුන් විසින් බහුතර තීන්දුව ප්‍රකාශයට කරමින් මිනීමැරුම් චෝදනාවලට වරදකරුවන් වූ 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළ අතර අයුතු ජනරාශිය පිළිබඳ චෝදනාවන්ට වැරදිකරුවන් වූ 4 දෙනාට අත්හිටුවූ සිරදඬුවම් සහ වන්දි ගෙවීම් නියම කර තිබේ.

සෙසු විත්තිකරුවන් 25 දෙනාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බව සඳහන් කළ එම විනිසුරුවරුන් දෙදෙනා ඔවුන්ව නිදහස්කොට නිදහස් කිරීමට තීරණය කර ඇත.

2022 මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව දිවයින පුරා හටගත් ගැටුම්කාරී තත්වය තුළ නිට්ටඹුව නගරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු ජයන්ත ගුණවර්ධන මහතාට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2023 වසරේදී මෙම නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

අධිචෝදනා 14ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර එම විත්තිකරුවන්ගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරදී මියගොස් තිබූ අතර, 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මගහැර පලාගොස් ඇති බැවින් ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top